මනුෂ්‍යයන් වන අපට නොයෙකුත් කරදර ලෙඩදුක් ආදිය නිතර ඇති වේ. එයෙින් මිදීමට නොයෙකුත් ප්‍රයත්න දරන අතර දෙවියන් යැදීම එයින් ප්‍රධාන වේ. දෙවියන්ට බාර හාර වීම, කන්නලව් කිරීම, බාරයක් ලෙස කාසියක් පිරිසිදු සුදු රෙදි කැබැල්ලක ගැටගැසීම පුරාණයේ මෙන්ම අදත් සිදු කරයි. මෙසේ බාරයක් ගැටගසා දෙවියන් ඉදිරියේ දනින් වැටී කන්නලව් කර සිටිනුයේ තමන්ගේ ප්‍රශ්න කරදර දෙවියන් විසින් බාරගන්නා ලෙසයි. බාරයක් ලෙස පඬුරක් ගැටගැසීමේදී එම කාසිය කහ වතුරෙන් සෝදා පිරිසිදු සුදු රෙදි කඩක ගැටගැසිය යුතු බව ද මතක තබා ගන්න.
ලෙඩ දුක්, කරදරවලට අමතරව නිවසක් තනා ගැනීමට මෙන්ම සාදන නිවසේ වැඩ සාර්ථකව නිමවීමට, දරුවෙකු පිළිසිඳ ගන්වා ගැනීමට මෙන්ම පිළිසිඳගත් දරුවා බිහිවන තුරු රැකබලා ගැනීමට, ගහ අපල දුරුකර ගැනීමට මෙන්ම තවත් නොයෙකුත් දේ සඳහා දෙවියන්ට බාරහාර වීම සිරිතයි. නිවසක් සඳහා බාරවීමේදී තහඩුවලින් කුඩා නිවසක් සාදා බාරවීම සිදු කරයි. වාහනයකට බාරයක් වීමේදී තහඩුවලින් වාහනයක් සාදා බාරවීම සිදු කරයි. ගොවීන් තම කුඹුර හා අස්වැන්න ආරක්ෂා කර ගැනීමට ඇතෙකුගේ රුවක් තහඩුවෙන් නිමවා අයියනායක දෙවියන්ට බාරවීම සිදු කරයි.
දෙවියන් උදෙසා බාර වීමේදී නොයෙකුත් ද්‍රව්‍ය බාරවීම සිදු කරයි. තමන්ගේ කාරණය ඉෂ්ට සිද්ධ වූ පසු අදාළ දෙවියන්ගේ දේවාලයට පැමිණ දැකුම් හෙවත් පූජා වට්ටියක් හෝ සේලයක් හෝ ගවයෙක්, කුකුලෙක්, කුරුල්ලන් ආදි සත්වයෙක් හෝ පූජා කර බාරහාරවලින් නිදහස් වේ. මෙම බාර ඔප්පු කරන විදි අතර පූජාවට්ටි ප්‍රධාන ස්ථානයක් ගනී. එක් එක් දෙවිවරුන්ට සාදන පූජා වට්ටි එකිනෙකට වෙනස් වේ. උදාහරණයක් ලෙස කතරගම දෙවියන් උදෙසා තබන පූජා වට්ටියේ ඇති පලතුරු, මල්වල පැහැය, මල් මාලයේ පැහැය හා අනෙකුත් ද්‍රව්‍යවලට වඩා විෂ්ණු දෙවියන්ට තබන පූජා වට්ටියේ ඇති පලතුරු මල්වල පැහැය හා මල් මාලාවේ පැහැය වෙනස්ය. විෂ්ණු කතරගම දෙවියන්ට පමණක් නොව කඩවර දෙවියන්ට, ගම්භාර දෙවියන්ට, පත්තිනි දෙවියන්ට, සුනියම් දෙවියන්ට, ඊෂ්වර දෙවියන්ට, සුමන සමන් දෙවියන්ට, කාලි මෑණියන්ට යන දෙවිවරුන්ට බැතිමතුන් පූජා වට්ටි පූජා කිරීම දැක ගත හැක.
කතරගම දෙවියන්ට පූජා වට්ටිය තැබීමේදී පලතුරු වර්ග 7ක්, පොල් ගෙඩියක්, තැඹිලි ගෙඩියක්, කිරිබත්, විලඳ, මීපැණි, රතු මල් මාලයක්, රතු මල් වර්ග, හඳුන්කූරු, බුලත්, කපුරු, රතු තිර ආදිය යොදා ගනී. තව ද කතරගම දෙවියන්ට බාරවිමේදී පූජා වට්ටියට අමතරව ප්‍රාණයට ප්‍රාණයක් බාරවීම මෙන්ම රූපයට රූපයක් බාරවීම සිදු කරයි. ප්‍රාණයට ප්‍රාණයක් දෙන ලෙස වූ බාරයට පොල් පැලයක් ද, රූපයට රූපයක් දෙන ලෙස වූ බාරයට රිදියෙන් කළ මිනිස් රුවක් ද පූජා වට්ටිය සමග පූජා කිරීම සිදු කරයි. බරපතළ උවදුරක් සඳහා වූ බාරයක් නම් අදාළ පුද්ගලයාගේ උසට සමානව රිදී පෙන්දක් ද කතරගම දෙවියන් උදෙස් පූජා කරයි.
විෂ්ණු දෙවියන් සඳහා පූජා වට්ටිය තැබීමේදී පලතුරු වර්ග 7ක්, තැඹිලි ගෙඩියක්, පොල් ගෙඩියක්, නිල් මල්මාලයක්, නිල් පැහැති මල් වර්ග කිහිපයක් (නිල් මානෙල්, නිල් කටරොඩු) යොදා ගනී. මීට අමතරව නිවසේ පිරිසිදුව පිසගත් කිරිබත් ද පූජා කරයි. මේ සියල්ල වට්ටියකට සකසා පූජාව මෙන් සකස් කර විෂ්ණු දෙවියන්ට පුදා වූ බාරයෙන් නිදහස් වේ.
පත්තිනි දෙවියන් සඳහා පූජා වට්ටිය තැබිමේදී පලතුරු වර්ග 7ක්, තැඹිලි ගෙඩියක්, පොල් ගෙඩියක්, නොයිඳුල් කිරිබත් මෙන්ම කිරි ආහාර, කහමල් මාලයක්, කහපාට මල්, කපුරු, හඳුන්කූරු, බුලත් ආදිය යොදා ගනී. පත්තිනි දෙවියන්ට තියෙන බාර අතර දරුවන් පිළිසිඳ ගැනීමට වන බාර හා දරුවන් ප්‍රසූතියෙන් පසු ඔප්පු කරන බාර ප්‍රධාන තැනක් ගනී. මෙහිදී තහඩුවෙන් සෑදු තොටිල්ලක්, තහඩුවෙන් නිමවූ කුඩා දරුවකුගේ රුවක් තබා පූජා කිරීම සිරිතයි. ඊට අමතරව පත්තිනි දෙවියන්ට රනින් නිම කළ මාලයක්, සේලයක්, ආදිය ද පූජා කර බාරහාර ඔප්පු කරයි.
කාලි මෑණියන් උදෙසා පූජා වට්ටි තැබීමේදී පලතුරු වර්ග 7ක් (කෙසෙල් තැබිමේදී රත් කෙහෙල් ගත යුතුයි) පොල් ගෙඩියක්, කල්කිරි බෝතල් එකක්, රතු මල්, රතු මල්මාලයක්, දෙහි, කපුරු, හඳුන්කූරු, බුලත් මෙන්ම රතු සේලයක් හෝ රතු සාරියක් කාලි මෑණියන්ට පූජා කර බාරයෙන් නිදහස් වේ. කාලි මෑණියන් උතුම් දෙවි කෙනෙකි. සෝවාන් පළයට පත් දෙවි කෙනෙකි. අන් දෙවිවරු මෙන්ම කාලි මෑණින් ද පිලිහුඩු අප්‍රිය කරයි. ඒ නිසා මෙවන් උතුම් දෙවි කෙනෙකු පිදිමේදී ඉතා පිරිසිදුව, කිලිවලින් තොරව හා පිලිහුඩුවලින් තොරව සිදුකිරීම මගින් උතුම් කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙන බව ද තරයේ සිත තබා ගත යුතුය.
සූනියන් දෙවියන් උදෙසා බාරහාර වී එය ඔප්පු කිරීමේදී සාදන පූජා වට්ටිය තුළ පලතුරු වර්ග 7, සුදු මල් හා සුදු මල් මාලයක් තිබිය යුතුයි. ඊට අමතරව විලඳ, මී පැණි, තැඹිලි වර්ග, බැදපු කඩල, කපුරු, හඳුන්කූරු, බුලත් ආදිය ද තබා පූජා කරයි.
කඩවර දෙවියන් උදෙසා වූ බාරයක් ඔප්පු කිරීමේදී පූජාවට්ටිය සෑදීම සඳහා කිරිබත්, කැවුම්, ඇතුළු කැවිලි වර්ග, මී පැණි, පොල් මද වලලු 7ක්, පපඩම්, ඇටි ඇට පුලුටු, දිය ගොඩ මස්, ඊරි ලේ, රතුමල්, විලක්කු එකක්, බැදපු බිත්තරයක්, නොයිදුල් බතක්, කොහොඹ තෙල් ආදයි තැබිය යුතුයි.
මෙහි සඳහන් ඇටි ඇට පුලුටු යනු උඳු ඇට, තල ඇට, මෑ ඇට, මුං ඇට, වි ඇට යන පස් වර්ගය කබලෙන් බැද ගත්විට ඇට ඇටි පුලුටු වේ. දිය ගොඩ මස් යනු ගොඩබිම ජීවත්වන සතෙකුගේ හා දියෙහි ජීවත්වන සතෙකුගේ මස් කැබලි 2ක් ගැනීමයි. මේ සඳහා හරක් මස්, ඌරු මස්, මෝර මාලු, දියබරියෝ, මඩු මාලු, ආදිය කිසිවිට නොගනී. ඊරී ලේ යනු අමුකහ ස්වල්පයක් හා විටට කන හුණු ස්වල්පයක් ගෙන එකට අඹරා ගත්විට සෑදෙන රතුපාට වූ තලපය මෙසේ හඳුන්වයි.
මෙහි සඳහන් නොවුණ ද හත්මාළුව හා මුරුතැන් බත ද දෙවියන් පිදීමේදී භාවිත කරයි. ඒනිසා හත්මාළුව හා මුරුතැන් බත නිවැරදිව සකසා ගන්නා ආකාරය ද දැනගැනීම වටී. හත්මාළුව සෑදීමේදී පුහුල්, අලුකෙසෙල්, ආදියයි යොදා ගැනීම සිදු නොකරයි. අලුත්ම ඇතිළියකට එළවළු වර්ග 7ක් එක්කොට පොල්කිරි යොදා හත්මාළුව සාදා ගැනීම සිදු කරයි. මෙම හත්මාළුව පිරිමියකුගේ අතින්ම පිළියෙල විය යුතු වීම නියමයකි.
මුරුතැන් බත පිළියෙල කිරීමට රතු කැකුළු හාල් ග්‍රෑම් 500ටක්, කජු ග්‍රෑම් 100ටක් වියළි මිදි ග්‍රෑම් 100ට, බැදපු රට කජු ග්‍රෑම් 100ටක්, රටඉඳි ග්‍රෑම් 250ටක්, කිතුල්හකුරු බෑ 1ක් හා තැඹිලි වතුර සපයා ගත යුතුයි. මුලින්ම රතු කැකුළු ග්‍රෑම් 500ට හොඳින් සෝදා අලුත් මුට්ටියකට දමා තැඹිලි වතුරෙන් පිසගත යුතුයි. ඉන්පසු කජු, වියළි මිදි, බැදපු රටකජු, රටඉඳි හා කිතුල්හකුරු සිහින් වන්නට කපා උයාගත් බතට උඩින් දමා කවලම් කළ යුතුයි. ලුණු ස්වල්පයක් ද ඊට එක්කර කෙසෙල් කොළයකින් මුට්ටියේ කට වසා තබා පූජා අවස්ථාවේදී කොටසක් දෙවියන් උදෙසා පූජා කළ යුතුයි. ඉතිරි කොටස මිනිසුන් විසින් අනුභව කළ යුතුයි.
මෙම මුරුතැන් බත පිළියෙල කිරීමේදී පිළියෙල කරන අය හිස්වැසුම් හා මුඛවාඩම් පාවිච්චි කළ යුතුයි. පිසීම සඳහා යොදාගන්නේ කුරුඳු දරය. සුවඳ වහනය වීම සඳහා ලිග් ගල් තුන උඩ කපුරු පෙති තැබීමද සිදු කරයි. ලිප දැල්වීමේදී ද කපුරු පෙති යොදා දැල්වීම සිදු කරයි. භූමිතෙල්, පොල් කොළ, පොල් කටු කිසිවිට එම ලිපට නොදමයි. මෙම මුරුතැන් බත ද පිරිමි අයෙකුගේ අතින්ම පිළියෙල විය යුතු අතර සතුන්ට කෑමට දීම නොකල යුතුයි.
දෙවියන් කෙරෙහි ඇති අධි භක්තිය හේතුකොට ගෙන සිදුකරන මෙම ක්‍රියාවන් මගින් අප ජීවිතයේ ඇති බොහෝ දුක්කරදර සමනය වී සහනය උදාවන බව නොරහසකි. නමුත් බෞද්ධයන් වන අප ශ්‍රී සද්ධර්මය අනුව ද ජීවත්වීමට සිත තබා ගත යුතුයි. ධර්මය නියමකාරව පිලිපදින පුද්ගලයාට දේව බැල්ම,දේව ආශීර්වාදය ලැබෙනුයේ නිරායාසයෙනි. ඒනිසා දෙවියන් පවා ඇල්ම දක්වන ධර්මයෙන් හැසිරීමට ඔබ අප කවුරුත් තරයේ සිත තබා ගත යුතුම කරුණකි. මන්ද “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී” වන නිසාය.

ජ්‍යොතිෂවේදිනි, දේශබන්ධු, ගුප්ත වෛද්‍යචාර්ය දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර. දු. අංකය 0779-282653