දශක 4කට අධික කාලයක් මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් අභීත මෙහෙවරක නිරත වූ අභාවප්‍රාප්ත හිටපු යුද හමුදාපතිවරයකු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15දා) පස්වරුවේ මල්වාන ප්‍රදේශයේදී පූර්ණ යුද හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ ගමගේ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා ජුනි 13 වැනිදා අලුයම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය. කුරිරු ත්‍රස්තවාදය හමුවේ 88-91 කාලසීමාවේ හමුදාපතිව සිටි ඔහු රට රැක ගැනීමට රණවිරුවන් සමග විශිෂ්ට මෙහෙවරක නිරත විය.
1988 වර්ෂයේදී ඔහු මෙරට 11 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්විය. ගම්පහ, මල්වාන ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කළ ඒ මහතාගේ එකම පුත් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ද එහි දෙවැනි නිලධාරියා ලෙස විශ්‍රාම ලැබීය.
එසේම ඒ මහාගේ බෑනා ද යුද්ධය පැවති 1988-91 කාලවකවානුවේ අලිමංකඩදී මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදීය. ඒ මහතාගේ දේහය මේ වනවිට ගම්පහ, මල්වාන නිවසේ තැන්පත් කර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සචිත්‍ර ඇල්වලගේ