“වීදියේ සිඟමන් යදින, වෙළෙඳාමේ යෙදෙන සහ වෙනත් අනාරක්ෂිත රැකියා ක්ෂේත්‍රවල යෙදෙන දරුවන් වෙනුවෙන් තාවකාලික පරිත්‍යාග ලබා දීම වෙනුවට ඔවුන් ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම රජයේ අරමුණ බව කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
රජය ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ලෙසත් බලාපොරොත්තු වන්නේ දරුවන් ආයතන ගත කිරීමට වඩා ඔවුන් පවුල් පාදක රැකවරණය වෙත යොමු කිරීමට බවත්, විකල්ප රැකවරණය අවශ්‍ය අවස්ථාවලදී ඒ වෙනුවෙන් පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෙස අදාළ මැදිහත්වීම් සිදු කරන බවත් ඇය කීවාය.
ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනි පෝල්රාජ් මහත්මිය,
අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමුන් වීදියේ සිඟමනේ යෙදවීම සහ අන්තරායකර රැකියාවන්වල යෙදවීමටත් එරෙහිව දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත්. ඒවා බලාත්මක කිරීම වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා,
අවුරුදු 5 ට අඩු එනම් මුල් ළමා වියේ වෙසෙන දරුවන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට එම දරුවා ඇති දැඩි වන පරිසරය ඉඳුරාම බලපානවා. එසේ නොවන අවස්ථාවලදී දරුවන් කායික සහ මානසික වශයෙන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට ඉඩ තියෙනවා.
මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය, පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී නිර්මලී පෙරේරා මහත්මිය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (ශ්‍රමප්‍රමිති) එන්.ආර්. රණවක මහත්මිය යන නිලධාරීන් ද එක්ව සිටියහ.
සිරිමන්ත රත්නසේකර