ජනතා විමුක්ති පෙරමුණ 88, 89 යුගයේ ට්‍රාන්ස්පෝමර්, විදුලි රැහැන් පද්ධති, විදුලි කණු, විදුලි බලාගාර විනාශ කිරීමේ එම පව සහ ණය අද රටේ ජනතාවට ගෙවන්න සිදුවී ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා,
“රජය කෙසේ වෙතත් රාජ්‍ය බිඳවැටීගෙන යන බව අපි අද දකිනවා. අද වෙද්දි අවනත නොවෙන රාජ්‍ය නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා මේ වෙද්දි විශාල ලෙස රාජ්‍ය සේවයේ සිටින පිරිස තුළ භීතියක් ඇති කරන තත්ත්වයකට රජය පත්කරලා තිබෙනවා. 88, 89 කාලයේදීත් මේ පිරිස කොළ කැල්ලෙනුත් රාජ්‍ය සේවය බිය වද්දලා අකර්මණ්‍ය කරලා බලය ගන්න උත්සාහ කළා. අපිට සිතෙන්නේ අද වෙද්දි රාජ්‍ය සේවයේ කටයුතු කරන රාජ්‍ය සේවකයන් ඉහළ තැන සිට පහළ තැන දක්වා අවනත නොවෙන ස්වභාවයක් ඇත්නම් කොළ කෑල්ල යවලා බලය තියාගන්න ක්‍රියා කරන ආකාරයයි. ඒ නිසා මෙහිදී රජය කරන මැති ඇමැතිවරුන්ගේ සිට ජනාධිවරයා දක්වා මේ සඳහා වගකීම භාර ගත යුතුයි.
ජනාධිපතිවරයාගේ ලේකම්වරයා නිකුත් කරපු ජනාධිපති සමාව යටතේ ලබාදුන්න ජනාධිපති සමාව ලබාදීමේදී අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙක් ජනාධිපති සමාව යටතේ ගියා කියලා නිවේදනයක් නිකුත් වෙනවා. එයට අද වෙද්දි
බන්ධනාගාර කොමසාරිස්වරයා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අසීමිත රාජ්‍ය සේවකයෝ ගණනාවක් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබුවා. එදා මහින්ද රාජපක්ෂ යුගයේ එතුමන්ලා වැඩකළා. එතුමන්ලා රාජ්‍ය සේවකයන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. සියලුම රාජ්‍ය සේවකයාගේ වගකීම ජනාධිපතිවරයා දක්වාම භාර ගත්තා. අද ජනාධිපතිවරයා යවන සමහර දේවල්වල වගකීම භාරගන්න කෙනෙක් නැති තත්ත්වයට පත්වෙලා. ඒ නිසා රජයේ සේවයේ ලේකම්වරුන්ගේ සිට දිස්ත්‍රික් ලේකම්වරු, විදුහල්පතිවරු දක්වා මේ රජයේ මැති ඇමැතිවරු සමග ගනුදෙනු කරද්දී දෙපාරක් හිතන්න වෙනවා. මේ ආකාරයට ගියොත් රාජ්‍ය සේවයේ සිටින විශාල පිරිස ඔවුන්ගේ වගකීම් අරගෙන කටයුතු කරන එක අඩාල වෙයි. එය තුළ රාජ්‍ය බිඳ වැටෙයි.
එරික් ගාමිණී ජිනප්‍රිය