පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, උප නගරාධිපති, සභාපති සහ උප සභාපති තෝරා ගැනීමේදී පක්ෂයේ දැනුම් දීම අනුව ක්‍රියා නොකරන සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි විනය නීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ මහතා එහිදී මෙසේද කියා සිටියේය.
මේ සතියේ සිට පළාත් පාලන ආයතන පිහිටුවිම පිළිබඳ පොදු විපක්ෂයේ එකඟතාවය ක්‍රියාත්මක කිරිම ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම පළාත් පාලන ආයතන බහුතරයක බලය ජාතික ජනබලවේගයට හිමිවෙලා නෑ. පළාත් පාලන ආයතන බහුතරයක බලය හිමි වී තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලන කණ්ඩායම්වලට. ඒ නිසා විරුද්ධ පක්ෂයේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පොදුජන එක්සත් පෙරමුණ, මුස්ලිම් දේශපාලන පක්ෂ වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල සහ ස්වාධීන කණ්ඩායම් ඒකාබද්ධව වැඩකටයුතු කිරීමට අදහස් හුවමාරු කර ගැනීම සිදු කරගනු ලබනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 100 කට වැඩි ප්‍රමාණයක් පොදු විපක්ෂය පාලනය කරන පළාත් පාලන ආයතන බවට පත් කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ගනුලබන තින්දු තීරණ ක්‍රියාවට නැංවීම සඳහා සමගි ජනබලවේගය සෘජු තිරණයක සිටිනවා. ඒ වගේම මෙම කටයුත්ත පිළිබඳව සමගි ජනබලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් සියලුම දෙනා දැනුම්වත් කර තිබෙනවා.
අකිත පෙරේරා