ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් පසුගියදා එම පළාත් ප්‍රධාන මහජන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ දිනවල එරට සංචාරයක නිරතව සිටින අතරතුර මෙම හමුව සිදුවිය. එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චිනයෙන් මෙන්ම ජජියාන් පළාතෙන් ලබාදිය හැකි ඉදිරි දායකත්වය පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.
ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය හා සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බවද මෙහිදී ටිල්වින් සිල්වා අවධාරණය කරන ලදී.
මෙම හමුව සඳහා නියෝජ්‍ය ඇමැතිවරුන් වන එරංග ගුණසේකර, මුනීර් මුලෆ්ෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එම්. ජෙගදීශ්වරන්, දීප්ති වාසලගේ, ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් එක්වී සිටි අතර ජජියාන් පළාතේ උප ආණ්‌ඩුකාර ලූ ෂන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල් පඅන් ෂියු බින් ඇතුලු ජජියාන් පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක්ද එක් වී සිටියහ.