සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය නිසා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින තද වැසි තත්ත්වය ලබන 17 වැනිදා පමණ තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැවත දැනුම් දෙන තෙක් මුහුද යෑමෙන් වළකින ලෙසද නාවික හා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
මෙහි බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)
අධික වර්ෂාවත් සමග ඇතිවිය හැකි තද සුළං තත්ත්වය හේතුවෙන් වහලවල ඇති තහඩු, උළු ආදිය ගැළවී යෑම, විදුලි සහ දුරකථන රැහැන්වලට හානිවීම, ගස්වල අතු කඩාවැටීම, මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යෑම, වී ඇතුළු වගාවන්වලට හානිවීම ඇතුළු ආපදාවන් සිදුවිය හැකි බැවින් ඒවා වළක්වා ගැනීමට හැකි අයුරින් කටයුතු කිරීම හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදනවලට අවධානය යොමු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
චමින්ද සිල්වා