විපක්ෂ නායක සජිත් කියයි
අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට රජය කටයුතු කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ රජය සහ විදුලි බල මණ්ඩලය සිදු කළ යෝජනාවක් අනුව බවත් මේ විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් සහ ජනතාවගේ හඬට ඇහුම්කම් නොදීමක් මෙන් ම මෙරට ජනතාව රැවටීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම ජනාධිපතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රු.9000 බිල රු.6000ත්, රු. 3000 බිල රු.2000 දක්වා 33%කින් විදුලි ගාස්තු අඩු කරන බව පැවසූ බවත් ඉන්පසුව මහ මැතිවරණයේ දී ද ඓතිහාසික වරමක් ලබා ගෙන මන්ත්‍රීවරුන් 159ක ජයග්‍රහණයක් ලබා ගත් අවස්ථාවේ 33%කින් විදුලි ගාස්තු අඩුකළ යුතු වුවත් අද වන විට මේ රජය රටේ ජනතාවට කළ ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝනය කරමින් ජනාධිපතිවරයාම සිදු කළ ප්‍රකාශ බොරු බවට පත් කර 15%කින් විදුලි ගාස්තු වැඩි කරන්නට ගෙන ඇති ක්‍රියාමාර්ගය මෙරට විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කිරිම ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලබා ගැනීමට බවත් විස්තීරණ ණය පහසුකම ලබා දීමට නම් විදුලි ගාස්තු වැඩි කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දමා ඇති බවත් මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා නව අයිඑම්එෆ් ගිවිසුමකට එකඟතාවකට ප්‍රවේශ වන බව පැවසුවත් බලය ලැබුණු විගසම හිටපු රජයේ අයිඑම්එෆ් ගිවිසුම අකුරක් නෑර ඉදිරියට ක්‍රියාත්මක කරමින් ජනවරම පාවා දෙමින් ජනවරම උල්ලංඝනය කරමින් ජනමතයට පයින් ගසා ඇති බවත් මොවුන් හිටපු ජනපති ප්‍රමුඛ රජයේ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටත් ජනතාවත් මේ කොන්දේසිවලට යටත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගය ද අයිඑම්එෆ් රාමුව තුළ වැඩ කරනවා වුවත් තමා අයිඑම්එෆ් නියෝජිතයන් හමු වූ අවස්ථාවේ පවා කියා සිටියේ නව ගිවිසුමකට යන බවත් අදටත් ඒ ස්ථාවරයේ සමගි ජන බලවේගය සිටින බවත් වත්මන් රජය ජනතාවට ඉදිරිපත් කළ කරුණු සියල්ල බොරු බවට පත් කරමින් 15% ක විදුලි ගාස්තු වැඩි කිරීමක් කර ඇති බවත් මොවුන් මේ දුප්පත් සාමාන්‍ය ජනතාව, වැඩ කරන ජනතාව කර්මාන්තකරුවන්, සංචාරක ක්ෂේත්‍රය පීඩාවට පත් කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එම නිසා දුන් ජනවරම පාවා නොදී ජනවරම විනාශ නොකර ජනතාවට දුන් පොරොන්දු වහාම ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත්, කළ යුත්තේ 15%කින් විදුලි ගාස්තු වැඩි කිරීම නොව 33%කින් විදුලි බිල අඩු කිරීම බවත් ඒ නිසා විදුලි පාරිභෝගික ජනතාව සමග එකට සිටගෙන එම පොරොන්දු ක්‍රියාවට නංවන තෙක් සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.