සේදවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පරිභෝජනයට නුසුදුසු පාන් පිටි සහ කොත්තමල්ලි තොගයකට නඩු නොපවරා රජයට රුපියල් කෝටි 25කට ආසන්න වංචාවක් කළ බව කියන පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව සත්ජන බළකාය විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමට සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (7දා) පෙරවරු 9.30ට එම කොමිසමට පැමිණෙන ලෙස සත්ජන බළකා නියෝජිතයන්ට දැනුම් දී ඇත.
එම දැනුම්දීම මත අද අල්ලස් කොමිසම හමුවට යන බවත් සත්ජන බළකාය විසින් 2025 ජනවාරි 30 හෝ ඊට ආසන්න දිනකදී මෙම පැමිණිල්ල සිදු කළ බවත් එම බළකායේ මහලේකම් පාරිභෝගික අධිකාරියේ හිටපු නිලධාරියකු වන අජිත් ජයසුන්දර මහතා පවසයි.
සේදවත්ත ප්‍රදේශයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් තිදෙනකු වැටලීමක් සිදුකර ගුල්ලන් ගැසූ පාන්පිටි සහ කල් ඉකුත්වූ කොත්තමල්ලි සඳහා නඩු නොපැවරීමටත් වෙළෙඳපොළට ඉදිරිපත් නොකර සහල් තොග සඟවා ගැනීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමටත් එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසටම පැමිණිලි කළ බව ජයසුන්දර මහතා කියා සිටී.
චමින්ද සිල්වා