ජනාධිපති අනුර කුමාර දිසානායක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භයේදී කියයි
පොත්වල ඉලක්කම් ලොකු වුණාට වැඩක් නැහැ
රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීම ආණ්ඩුවේ වගකීම බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සිකුරාදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමිනි. සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යෑම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස පිළිගන්නා ලද අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහනෙහි අරමුණු පැහැදිලි කරන ලදී.
අනතුරුව “ප්‍රජාශක්ති” ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය හඳුන්වා දෙන ලදී. ප්‍රජාශක්ති නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙසේද පැවසීය.
විශේෂයෙන්ම මීට වසර කිහිපයකට පෙර අප රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වූ බව අපි දන්නවා. ඒ කඩා වැටීමට හේතුසාධක අපට විවිධාකාරයෙන් හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. එහෙත් එම ආර්ථික කඩා වැටීමට කිසිසේත්ම දායක නොවුණු ගම්වල සාමාන්‍ය ජනතාව එයින් විශාල පීඩාවකට පත් වූ බව අපි අමතක නොකළ යුතුයි. ඔවුන්ට ආහාර මිලදී ගැනීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් ලබාගැනීම, අධ්‍යාපනය වෙනුවෙන් පහසුකම් නිර්මාණය කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධනය කිරීම ආදී කේෂ්ත්‍රවල විශාල බිඳවැටීමක් සිදු වුණා. ඒනිසා ග්‍රාමීය ජනතාවගේ ජීවිතය නඟා සිටුවීමට වත්මන් රජයට අභියෝගයක් සහ වගකීමක් තිබෙනවා. එය කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමක්.
අද වන විට, ආර්ථිකය සැලකිය යුතු ලෙස ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අපි සමත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් ඩොලරයේ අගය රුපියල් 300ට ආසන්නයේ තබාගැනීම, විදෙස් සංචිත ක්‍රමානුකූලව වර්ධනය කරගැනීම, භාණ්ඩාගාරයේ ආදායම අප අපේක්ෂා කරන ඉලක්ක දක්වා ගෙන යෑම, බැංකු පොලී අනුපාතිකය තනි ඉලක්කමක පවත්වා ගැනීම ආදී ආර්ථිකයේ ස්ථාවරභාවය සදහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයකින් සම්පූර්ණ කරගැනීමට අපි සමත්වී තිබෙනවා. ඒ වගේම, අප රට කෙරෙහි ආයෝජනවල සහ ආයෝජකයන්ගේ විශ්වාසය ක්‍රමානුකූලව වර්ධනය කරගැනීමටද සමත් වී තිබෙනවා. නතර වී තිබූ ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා සාර්ථක ලෙස අපි අවසන් කර තිබෙනවා. ඒ වගේම නව ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එහි වැදගත් යෝජනා ගණනාවකට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබාදී තිබෙනවා. ඒනිසා අලුත් ආයෝජන, අලුත් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි අප අවධානය යොමු කර තිබෙනවා. අප ක්‍රියාත්මක කරන වඩාත් ප්‍රතිඵලදායී ආයෝජන ව්‍යාපෘතිවලින්, එක පැත්තකින්, ආර්ථික ස්ථාවරභාවයත්, අනික් පැත්තෙන් ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත හැකියි.
හැබැයි, එම ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලාගෙන යන්නේ නැත්නම් සංඛ්‍යා ලේඛන තුළ පමණක් ආර්ථික ස්ථාවරභාවයත්, ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත්තාට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි එක් පසෙකින් ආර්ථික වර්ධනය අත්පත්කරගත යුතු සේම, අනෙක් පසින්, ආර්ථික ප්‍රසාරණයක් සිදු කළ යුතුයි. ග්‍රාමීය ජනතාව සඳහා ආර්ථික අවස්ථා නිර්මාණය නොවන්නේ නම්, ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් නොවේ නම්, සාමාන්‍ය ජනතාව ආර්ථිකයෙන් පිටමං කළ පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රවේශය වන්නේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමත්, ග්‍රාමීයව විසිරුණු ජන ප්‍රජාව එම ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීමත් බව කිව යුතුයි.
ඒ නිසා නව සංස්කෘතියක් අවශ්‍යයි. රජය විසින් ලබාදෙන ආධාර ලැබිය යුතු කෙනාටම තමයි ලැබිය යුත්තේ කියා තමන්ට ස්වයංව දැනෙන්න අවශ්‍යයි. තමන්ට හැකියාව තිබුණාට අල්ලපු ගෙදර කෙනාට ඒ හැකියාව නැහැ. උදව්වක් කරන්න අවශ්‍යයි කියා කෙනෙක්ට සිතෙන්න අවශ්‍යයි. එහෙත්, අද අපේ රටේ සංස්කෘතිය කුමක්ද? කුමක් හෝ දෙනවා නම් ලබා ගැනීම සඳහා පොර බැදීමක් තිබෙනවා. තමන්ට එය සුදුසුද? නැද්ද? අවශ්‍යද නැද්ද? තමන්ට හිමිකමක් තිබෙනවාද? නැද්ද? කියන සාධකයකින් තොරව. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා.
හැබැයි, අපි කවුරුත් දන්න, හැමදාම කතා කරන මේ සහනාධාර වැඩපිළිවෙළ මත සැමදාම රඳා පවතින්න බැහැ. සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ නිසා සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් තිබෙනවා. එහෙත් එය, එකම කෙනා, එකම ප්‍රජාව වෙනුවෙන් නොවෙයි. අනෙක් කෙනාත් ආර්ථිකයේ පංගුකරුවන් කර ගත යුතුයි.
මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයකින් ආණ්ඩු මුදල් වැය කර තිබෙනවා. ආසන්න වශයෙන් ගත හොත් අස්වැසුම වැඩසටහනට පමණක් රුපියල් බිලියන 230ක් වෙන් කර තිබෙනවා. තවත් ආධාර වැඩසටහන් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එහෙත්, මේ මුදල් අපි ඉලක්ක සහගත ප්‍රජාවට ලබාදී තිබෙනවාද? එම මුදල්වලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී තිබෙනවාද? එසේ ලැබී නැහැ.
හරි ලබා දිය යුතුයි කියා හිතන ප්‍රවණතාවක් තිබෙනවා. එහෙත්, ඉතා නිවැරදි දත්ත පද්ධතියක් මත පදනම්ව කුමක්ද? කුමන අරමුණකින්ද ලබාදිය යුත්තේ? යන්න තීරණය කළ යුතුව තිබෙනවා. එහෙත්, දැන් සිදු වී තිබෙන්නේ ඒ ආකාරයෙන් නොවෙයි. සෑම ආයතනයක්ම, දෙපාර්තමේන්තුවක්ම ආධාර දෙන්න පෙළඹිලා තිබෙනවා. එහෙත්, ග්‍රාමීය ජනතාවට ගලා ගෙන යන ආධාර සහ ඔවුන්ගේ ආර්ථිකය සවිබලගැන්වීම සඳහා සිදු කරන වැඩසටහන් සියල්ල ඒකාබද්ධ කළ යුතුයි. අපේ ආධාර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ ජීවත් වීම සඳහා පමණයි. එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න සමත් වී නැහැ. ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. ප්‍රජා ශක්ති වැඩසටහන අප දියත් කරන්නේ එම මෙහෙයුම ලෙසයි. එය ඉලක්ක සහගත මෙහෙයුමක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා වැඩසටහන සකස් කළ යුතුයි.
එළැඹෙන අයවැය ලේඛනයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ භෞතික සම්පත් ගොඩනඟන්න කටයුතු කරනවා. භෞතික සම්පත් ගොඩනැඟීමට සාපේක්ෂව නව මෘදුකාංග පද්ධති හඳුන්වා දී අපි රාජ්‍යය නවීකරණය කර දෙන්නම්. හැබැයි, ඒ කරන්නේ පුරවැසියා වෙනුවෙන්. ඒ නවීකරණය කරන ලද රාජ්‍යය තුළ පරණ පුටුවේ පරණ කෙනෙක් නම් වාඩි වෙලා ඉන්නේ, එයින් ඇති ඵලක් නැහැ. එම නිසා ඒ නූතනත්වයට ගෙනා රාජ්‍ය යාන්ත්‍රණය තුළ අලුත් රාජ්‍ය සේවකයා අපට අවශ්‍යයි. මේ අභියෝගය අපට ජයග්‍රහණය කළ හැකි වන්නේ එසේ පමණයි. එසේ නොමැතිව, මේක දේශපාලන කාර්යයක්, මේක දේශපාලන අධිකාරියේ වැඩක්, ග්‍රාම සේවක මහත්තයාගේ, සංවර්ධන නිලධාරියාගේ වැඩක්, ප්‍රාදේශීය ලේකම්ගේ වැඩක් කියලා තැන තැන බෙදී විසිරිලා මේක කරන්න බැහැ. මෙය කිරීමට නම් දේශපාලන අධිකාරියත්, රාජ්‍ය යාන්ත්‍රණයත් අත්නොහරින ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමයි. එහෙම නොමැතිව. කිසිවක් සාර්ථක කර ගන්න බැහැ. අපට තිබෙන්නේ තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නොවෙයි, තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නම් පවතින විදිහ හොඳයි.
ප්‍රජා ශක්ති ජාතික ප්‍රතිපත්ති සභාවේ කැඳවුම්කරු සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා –
අප රටේ දිළිඳුභාවය ගැන කතා කිරීමේදී ගම විශේෂ ස්ථානයක් ගනු ලබනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව, ජාත්‍යන්තර වශයෙනුත්, විශේෂයෙන්ම ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකානු කලාපය දෙස බැලීමේදී ගම අමතක කර දිළිඳුකම පිළිබඳව අපට සාකච්ඡා කරන්න බැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූලි මස 06 වන දා ලෝක ග්‍රාම සංවර්ධන දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ එනිසයි.
දිළිඳුබව තුරන් කිරීමට කොපමණ වැඩසටහන් ක්‍රියාත්මක කළත්, එන්න එන්නම අප රටේ දිළිඳු ප්‍රජාව වර්ධනය වෙමින් තිබෙන බව එම සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වෙනවා. ලෝකයේ ජනගහනය ශීඝ්‍රයෙන් නාගරීකරණය වුවත්, අප රටේ සමස්ත ජනගහනයෙන් 79%කට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය හෝ වතු ආශ්‍රිතව ජීවත් වෙනවා. එනිසා ජාතික ජනබලවේගයේ රජය විදිහට අපේ ප්‍රතිපත්ති සැලසුම් කරන විට ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම ප්‍රධාන තේමාවක් බවට පත් කර ගත්තා.
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, මහාචාර්ය චන්දන අබේරත්න, සමන්ත විද්‍යාරත්න, රෝජා පොල්රාජ්යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමැතිවරුද, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද, පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු, ජාත්‍යන්තර ආයතන නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.