මිනිසුන් ඇටවූ අනවසර විදුලි රැහැන්වල දැවැටී වසරේ ගතවූ මාස හයේ දී විදුලි සර වැදීමෙන් වල් අලින් තිස්පස්දෙනකු මිය ගිය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය.
ජුනි 19 දා දක්වා වල් අලින් 198 දෙනකු සහ පුද්ගලයින් 63 දෙනකු අලි මිනිස් ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්වී ඇත. නොමිනිසුන් ඝාතනය කළ වල් අලින් 46දෙනකු නැගෙනහිර වන ජීවී කලාපයෙන් වාර්තා වී ඇත. අනුරාධපුර වන ජීවී කලාපයෙන් වල් අලින් 34දෙනකු, පොලොන්නරුව මහවැලි කලාපයෙන් වල් අලින් 28දෙනකු, වයඹ වන ජීවී කලාපයෙන් වල් අලින් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත.
අලි මිනිස් ගැටුම්වලින් අහිමිවූ පුද්ගල ජීවිත 18ක් පොලොන්නරුව වන ජීවී කලාපයෙන් වාර්තාවී ඇත. නැගෙනහිර කලාපයෙන් 13ක්, අනුරාධපුර කලාපයෙන් 09 ක් වශයෙන් පුද්ගල මරණ වාර්තා වී ඇත.
මිය ගිය වල් අලින්ගෙන් 35දෙනකු අනවසර විදුලි රැහැන්වල දැවටීමෙන් රටට අහිමිවී ඇත. වෙඩි තබා ඝාතනය කළ වල් අලින්ගේ සංඛ්‍යාව 34 කි. හක්ක පටස්වලින් 18දෙනකු සහ දුම්රියේ ගැටීමෙන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසීය.
වල් අලින්ගේ වාස භූමි සහ අලිමංකඩ අහුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති, ජනාවාස ඉදි කිරීම, මහා පරිමාණ වගා බිම් ආරම්භ කිරීම අලි මිනිස් ගැටුම් උග්‍රවීමට බලපා තිබෙන බව දෙපාර්තමේන්තුව පැවැසීය.
නිමල් ගුණතිලක