දෙපාර්තමේන්තුවට ඇතුළුවීම තහනම්: දින 50ක සීසීටීවී දර්ශන මකලා
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවගෙන් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි සැකකරන රුපියල් ලක්‍ෂ 41ක මුදලක් සන්තකයේ තිබියදී සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට පුරා දින 42ක් රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනාට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇතුල්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය එම සැකකරුවන් ඇපමත මුදාහැරීමට ඊයේ (04දා) නියෝග කළාය.
නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස සේවය කළ ඩිලාන් නුවන් කුමාර, සහකාර කළමනාකරුවකු ලෙස සේවය කළ ප්‍රදීප් නිශාන්ත හා ලිපිකරුවකු වන ප්‍රදීප් නිශාන්ත නමැති එම සැකකරුවෝ තිදෙනා රුපියල් 25,000 බැගින් මුදල් ඇප හා රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබූහ.
එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. එම දෙපාර්තමේන්තුවේ සවිකර ඇති සීසීටීවී දර්ශන සිය භාරයට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විශ්ලේෂණය අංශයට යොමු කළ බවත් පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට මැයි 29 දක්වා වූ කාලයට අදාළ දින 50ක පමණ සීසීටීවී දර්ශන මකා දමා ඇති බව මෙතෙක් සිදුකළ පරිගණක විශ්ලේෂණ වාර්තා අනුව අනාවරණය වී ඇතැයි ද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්හ.
ඒ. ජේ. ඒ. අබේනායක