අධිකරණයේ ස්වාධීනත්වය ගැන විශ්වාසයි: අපි කෙඳිරි ගාන්නේ නෑ
ආණ්ඩුව මේ වන විට රටේ ඇත්ත ප්‍රශ්න යට ගසා මර්දනකාරී පිළිවෙතකින් රාජ්‍ය පාලනය කරමින් සිටින බවත් ඉදිරියේදී නීතිඥයන් මර්දනය කර ඉන්පසු තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන් මර්දනය කිරීමට ද ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මූලස්ථානයේ ඊයේ පැවැති එම පක්ෂයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
හෙතෙම මෙසේ ද සඳහන් කළේය.
රාජපක්ෂලා හොරු, දෙසීය විසිපහම හොරු කියල පටන් ගත්ත ආණ්ඩුව දැන් සමස්ත රාජ්‍ය සේවකයින්ම හොරු කියලා කියන්නත් පටන්ගෙන. ඒ විතරක් නෙමෙයි වෛද්‍යවරුන්ටත් හොරු කියන්න පටන් ගෙන. අද වෛද්‍යවරුන්ට බෙහෙතක් නිර්දේශ කිරීමට නොහැකි තරමේ මානසිකත්වයක් මේ ආණ්ඩුව විසින් හදලා තියෙනවා. මීළඟට ආණ්ඩුව අනිවාර්යෙන්ම නීතිඥවරුන් මර්දනය කරන්න පටන් ගනීවි. ඉන්පසු සිවිල් සමාජය මර්දනය කර තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයින්වත් මර්දනය කරාවි. ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට ඔවුන් මර්දනය තමයි ක්‍රියාත්මක කරන්නේ. පොහොර ගැටලුවට, ජීවන වියදමට ආණ්ඩුවට උත්තර නෑ. සහල්, ලුණු රටින් ගෙන්නලා කන්න දෙන තත්ත්වයට ආණ්ඩුව වැටිලා. දිනපතා
රැකියා අහිමිවෙනවා. මෙවැනි තත්ත්වයන්වලදී ආණ්ඩුවේ න්‍යාය වී ඇත්තේ තමන්ගේ වැරදි රාජ්‍ය නිලධාරීන් පිට පැටවීමයි. මේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව අපි පක්ෂයක් ලෙස මුහුණ දීමට සූදානමින් සිටිනවා. ජනතාවගේ ආර්ථික නිදහස සහ ජීවත්වීමේ නිදහසවත් තහවුරු කරදීමට මේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන වේදිකාවේ හිටපු හිතවතුන්ව ඉහළ තනතුරුවලට පත් කරගෙන ඉන්නවා. ඔවුන්ට එම තනතුරුවල වගකීම දරන්න පුළුවන්ද බැරිද කියන එක මෙයාලා හිතලා නෑ. කන්ටේනර් නිදහස් කරපු එක හරි, ඒව තියෙන තැන අපි දන්නවා කියපු ඇමැතිවරුන්ට මොකද වෙන්නේ කියන එක අපි බලාගෙන ඉන්නවා.
මෙහිදී දේශපාලනඥයන් අත්අඩංගුවට පත්වෙමින් සිටින බැවින් ඒ පිළිබඳව බයක් දැනෙන්නේ නැද්දැයි මාධ්‍යවේදීහු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියහ.
ඊට පිළිතුරු වශයෙන් රාජපක්ෂ මහතා මෙසේ කීවේය.
අපි කෙඳිරි ගාන්නේ නෑනෙ. මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක් තියනවා සහ ස්වාධීන විනිසුරුවරුන් ඉන්නවා කියන දැඩි ස්ථාවරයේ අපි ඉන්නවා. අපට චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා නම් නීතිමය රාමුව යටතේ මුහුණ දීලා අපේ නිර්දෝෂී භාවය අධිකරණය ඉස්සරහදි ඔප්පු කරනවා. ආණ්ඩුව හිතනව නම් හිරේ දානවා කියලා බය කරලා අපේ කට වහන්න ඒවා හරියන්නෙ නෑ. ආණ්ඩුව කරන වැරදි පෙන්නුවාම අපෙන් පළි අරගෙනවත්, අපිත් එක්ක කේන්ති අරගෙනවත් වැඩක් වෙන්නේ නෑ.
අනුරාධ හිරිපිටියගේ