කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කර වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකු ඇප මත මුදා හැරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා ඊයේ (03දා) නියෝග කළේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් හා නවීන් වීරකෝන් යන එම සැකකරුවන් තිදෙනාට විදේශගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ඇප බැඳුම්කර මත ඔවුන් මුදා හැරීමට නියෝග කළේය. සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඇප කොන්දේසියක් පැනවූ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හෝ ඉදිරි විමර්ශනවලට කිසිදු බාධාවක් නොකරන ලෙසත් අවවාද කළේය.
ලැබුණු පැමිණිලි අනුව පසුගිය මාර්තු මස අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක, ගම්පහ – සුසිල් රණමුක