යම් පළාත් පාලන ආයතනයක සභිකයකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්නේ නම් එම සභිකයා දරණ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. නමුත් ඒ සභිකයාට සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් විසින් එල්ලවන චෝදනා දැනුම් දීලා නිදහසට කරුණු දැක්වීමට නිශ්චිත කාලයක් ලබාදිය යුතු යැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මැතිවරණ කොමිසන් සභාව දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ”2026/29 සහභාගිත්ව උපාය මාර්ග සැලැස්ම” සඳහා යෝජනා ලබා ගැනීම මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය ”ඡන්ද මධ්‍යස්ථානයක තිබිය යුතු මූලික පහසුකම්” පිළිබඳ යෝජනා ලබා ගැනීමේ හමුවකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මෙම කරුණු අවධාරණය කළේය. මෙම හමුව ත්‍රිකුණාමලය සර්වෝදය මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පෙරේදා (02 දා) සිවිල් සංවිධාන නියෝජිතයන් හා පළාත් පාලන ආයතන සභිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, යම් සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නේ නම් එම සභිකයාට පුළුවන් දින 21ක් ඇතුළත අධිකරණයට ගිහිල්ලා වාරණ නියෝගයක් අරගෙන ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. අපි එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයකගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා බැඳිලා ඉන්නවා. ඒ සඳහා අධිකාරි බලය තියෙන්නේ අපිට විතරයි. ඒ නිසා මැතිවරණ පැවැත්වීමේදී ලංකාවේ වෙනත් කිසිදු ආයතනයක් සමඟ තරඟයක් අපිට නැහැ. ඒ නිසා ලංකාවේ ලොකුම උත්සවයට ලංකාවේ අවුරුදු 18 ට වැඩි සියලු දෙනාගේ මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය ඡන්දය දින සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛ කාර්ය අපි ඉටු කරනවා.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ ජාතික සම්බන්ධීකාරක සුජීව ගයානාත් මහතාද මෙහිදී අදහස් දැක්වීම සිදු කළහ. අනතුරුව යෝජනා ලබා ගැනීම සිදුකළ අවස්ථාවේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගඟතලාව එක්සත් මාධ්‍ය සංසදයේ භාණ්ඩාගාරික එස්. කීද පොන්කලන් මහතා විසින් 2026/29 සහභාගිත්ව උපාය මාර්ග සැලැස්ම සඳහා වන යෝජනාවලිය මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙතත්, මැතිවරණයකදී ඡන්ද මධ්‍යස්ථානයක තිබිය යුතු මූලික පහසුකම් පිළිබඳ යෝජනාවලිය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වයේ ජාතික සම්බන්ධීකාරක සුජීව ගයානාත් මහතා වෙත ලබාදීමත් සිදු කළහ. මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස් එස්. කේ. ඩී. නිරන්ජන් මහතා ඇතුළු නිලධාරී පිරිසක් එක්ව සිටියහ.
සේරුවිල – සුගත් විජේකුමර