විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (2දා) අල්ලස් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කළේය.
ඔහු විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරය දරන සමයේම වෙනත් සමාගමක සභාපතිවරයා ලෙස කටයුතු කර එම සමාගමට වාසිදායක ආකාරයෙන් කටයුතු කර ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි. ඔහු පොසිල ඉන්ධන මතින් විදුලිය නිපදවන එම සමාගමේ කටයුතු කරන බව ලංවිමට දැනුම් දීමක් කර නැති බවද, එසේ කිරීම අල්ලස් පනතේ 107 වගන්තියට අනුව වරදක් බවද පැමිණිල්ල කියයි.
ආයතන දෙකෙන්ම ඔහු වැටුප් ලබාගෙන ඇති බව ද පැමිණිල්ලේ දැක්වෙයි. ඔහු අල්ලස් පනතේ 107 වගන්තිය අනුව දූෂණය නමැති වරද කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් ය. අදාළ කාලය තුළ ඔහු ලංවිම සභාපති වශයෙන් එම සමාගම සමග ගිවිසුම් අත්සන් කර ඇති බවද පැමිණිල්ලේ දැක්වෙයි. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතාගේ අත්සනින් යුතු ලිඛිත පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත ඊයේ භාර දෙනු ලැබිණි.
අනුරාධ හිරිපිටියගේ