ප්‍රථම වතාවට තෙත වී සඳහාත් අවම මිලක්
වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බවත් වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 600ක් වෙන්කර ඇති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට පැවසීය. ප්‍රථම වතාවට තෙත වී සඳහා අවම මිලක් නියම කිරීමට වත්මන් රජය කටයුතු කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
වේළන ලද ප්‍රමිතිගත නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
තෙත නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 102ක්, තෙත සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 105ක් සහ තෙත කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 112ක් ලබා දෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා, “ඉතිහාසයේ ප්‍රථමවරට තෙත වී සඳහාත් අවම මිලක් නියම කර ඇති මොහොතක අඩු මිලට තෙත වී විකුණන්න එපා කියලා අපි ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. වියළි වී හෝ තෙත වී වැඩි මිලට විකුණුවාට අපට ප්‍රශ්නයක් නැහැ. මේ දෙවර්ගයම නියම කර ඇති මිලට වඩා අඩුවෙන් අතරමැදි වෙළෙන්දාට විකුණන්න එපා කියලයි අපි කියන්නේ යැයි පැවසීය.
සුජීව තත්සර