සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත්වීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි 28 වැනිදා යළි කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල 30දා නියෝග කළේය.
එම නඩුව ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ හා මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම විනිසුරු මඬුල්ලේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ කොළඹ හිටපු ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වනවිට අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස උසස්වීම් ලබා ඇති හෙයින් ඒ වෙනුවට වෙනත් විනිසුරුවරයකු පත් කරන තෙක් නඩුව කල් තබන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව විභාග කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම එම විත්තිකරුවන් චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. එකී තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අභියාචනාව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණ තීන්දුව බලරහිත කර විත්තියේ සාක්ෂි කැඳවා නැවත නඩු විභාගයක් පවත්වන ලෙසට නියෝග කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක