නාඩු – 120ට, සම්බා – 125ට
කීරි සම්බා – 132ට
රජය විසින් නියම කර ඇති අවම මිල යටතේ හෙට (03දා) සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පෙරේදා (30දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව, නාඩු වී කිලෝවක් රුපියල් 120කට, සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට රජයේ වී ගබඩා මගින් මිලදී ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය, වී මෝල් සංගම් නියෝජිතයන් සහ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණ ගෙන තිබේ.
එ සේම තෙත වී සඳහා ද අවම මිලක් නියම කර ඇති බවත් ඒ අනුව, නාඩු වී කිලෝවක් රුපියල් 102කට, සම්බා වී කිලෝවක් රුපියල් 105කට, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 112කටත් ගොවියාට විකිණිය හැකි බවද මීට වැඩි මිලට වුවත් ඕනෑම කෙනකුට වී විකිණීමට හෝ මිලදී ගැනීමට හැකියාව ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
මේ අතර යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති අක්කරෙයිපත්තුව, අම්පාර, සමන්තුරෙයි, මඩකළපුව ආදී ප්‍රදේශවල ගොවීන් වී විකුණා ගත නොහැකිව අසරණව ඇති බවත් එම ප්‍රදේශවල වී කිලෝවක මිල රුපියල් සියයක් දක්වා පහත වැටී ඇති බවත් ගොවි සංගම් නියෝජිතයෝ පවසති.
සුජීව තත්සර