නව සභාපති ස්වාධීන කණ්ඩායමේ කසුන්
උප සභාපති සජබයේ සමන්ත
මාලිමාව ජයග්‍රහණය කළ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය ඊයේ (30දා) විපක්ෂ කණ්ඩායම විසින් ලබා ගන්නා ලදි. ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ස්වාධීන කණ්ඩායමේ කසුන් මුණසිංහ මහතාත්, උප සභාපති ලෙස සමගි ජනබලවේගයේ අනගිපුර සමන්ත රෝහණ මහතාත් තේරීපත් වූහ.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ සමාරම්භක රැස්වීම ඊයේ මතුගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී සභාපති ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලලිත් ඉන්දික සිරිවර්ධන මහතාගේ සහ ස්වාධීන කණ්ඩායමේ කසුන් නිරෝෂණ මුණසිංහ මහතාගේ නම් යෝජනා විය. ඒ පිළිබඳව සභාවේ මතය විමසීමේදී සභිකයන් 18 දෙනකු විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් සභිකයන් 15 දෙනකු රහස් ඡන්දයක් පවත්වන ලෙසත් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විවෘත ඡන්දයක් මගින් සභාපතිවරයා තේරීම සිදු කෙරිණි.
එම ඡන්ද විමසීමෙන් ස්වාධීන කණ්ඩායමේ කසුන් මුණසිංහ මහතාට ඡන්ද 19 ක් ද, ජාතික ජනබලවේගයේ ලලිත් ඉන්දික සිරිවර්ධන මහතාට ඡන්ද 13 ක් ද ලැබුණු අතර ජන අරගල සන්ධානයේ තොටගමගේ නිහාල් මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඒ අනුව ස්වාධීන කණ්ඩායමේ කසුන් මුණසිංහ මහතා මතුගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් විය.
උප සභාපති ධුරයට සමගි ජනබලවේගයේ අනගිපුර සමන්ත රෝහණ සහ ජාතික ජනබලවේගයේ විතානගේ දොන් නිශාන්ත යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී සමගි ජනබලවේගයේ අනගිපුර සමන්ත රෝහණ මහතා ඡන්ද 18 ක්ද, ජාතික ජනබලවේගයේ විතානගේ දොන් නිශාන්ත මහතා ඡන්ද 13 ක් ද ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ දුමිඳු චතුර සම්පත් සහ ජනඅරගල සන්ධානයේ තොටගමගේ නිහාල් යන මහත්වරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ නව උප සභාපති ලෙස සමගි ජනබලවේගයේ අනගිපුර සමන්ත රෝහණ මහතා පත්විය.
මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර සභා පරිශ්‍රයෙන් පිටත විශාල පිරිසක් රැස්වී සිටියහ. සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු සභා රැස්වීමට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සමග පා ගමනින් ප්‍රාදේශීය සභාව වෙත පැමිණියහ.
ඡායාරූප :- මතුගම ප්‍රාදේශීය සභා රැස්වීම
සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සමග පා ගමනින් සභා රැස්වීමට පැමිණි අයුරු
බී. තඹවිට – මතුගම