රාමඤ්ඤ මහා නිකායේ 74 උපසම්පදා විනය කර්ම රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) දිනයේ පැවැත්වීමට නියමිත මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 උපසම්පදා විනය කර්ම රාජ්‍ය මහෝත්සවයට සමගාමීව කාම්බෝජ නාහිමිවරුන් වෙනුවෙන් ගෞරව නාම සන්නස්පත්‍ර පිළිගැන්වීම පෙරේදා (29දා) සවස රුවන්වැලි සෑය අභියසදී පැවැත්විණි.
අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සහ රුවන්වැලිසෑ චෛත්‍යයාරාමාධිකාරි පූජ්‍ය ඊතල වැටුනවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත පූජ්‍ය මකුළෑවේ විමල මහ නාහිමිපාණන් වහන්සේ විසින් ඇමෙරිකාවේ හවායි දූපත්හි කාම්බෝජ විහාරයේ විහාරස්ථානාධිපති පූජ්‍ය මුණිපුත්තෝ නාහිමිපාණන්ට සහ කාම්බෝජයේ උත්තරීතර සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය සම්දෙක් මොන්ගල මුණිරංසි නාහිමිපාණන් වහන්සේ දෙනම වෙත ගෞරව නාම සන්නස් පත්‍ර පිරිනැමූහ. උන්වහන්සේලා වෙත විජිණිපත පිළිගන්වනු ලැබුවේ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත සහ සමූපාකාරය සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් විසිනි. මෙහිදී ශාසනාභිවෘද්ධිය සඳහා අමිල මෙහෙයක් කරන කාම්බෝජ ගිහි පින්වතුන්ද ඇගයීමට ලක් කෙරුණි.
මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය අත්තංගනයේ රතනපාල නාහිමිපාණන් වහන්සේ ඇතුළු කාම්බෝජයේ මහා සංඝරත්නය මෙන්ම ගිහි පින්වතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මිහින්තලේ රංග චතූ