ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්තගේ “විකල්ප මඟ” කෘතිය පිළිගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි
ලෝකය බල අරගලයක් තුළින් ගමන් කරන අවධානම් කාලයක්. මෙම තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි අපේ රටට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකියි. එය අපේ රටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය හිටපු ජනාධිපතිවරයාට පිරිනැමූ අවස්ථාවේ පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෘතිය පරිත්‍යාග කෙරුණේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ඉරානය ශ්‍රී ලංකාවටද උදව් උපකාර කර ඇති මොහොතක වත්මන් ආණ්ඩුව පෙනී නොසිටීම කණගාටුවට කරුණක්. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා.
ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමෙරිකා ඩොලර් ටි්‍රලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.