නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය සමත් වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීති විරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
පසුගිය සෙනසුරාදා (28දා) ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනකු සිංහල ජාතිකයන් බවටත්, එක් අයකු දෙමළ ජාතිකයකු බවටත් වාර්තා වේ. ඔවුන් තිදෙනාගෙන් එක් අයකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයකු බවත්, අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති අය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා සිකුරාදා රාත්‍රියේ මෙරටින් පිටත්වී ඇති අතර අලුයම 04.00 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළා යෑමට සැලසුම් කර තිබූ බව ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය මගින් අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් රාජ්‍ය සමුද්‍ර පොලිසිය වෙත භාර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.