ඒඩ්ස් සහ ක්ෂය රෝග පාලනයට ශ්‍රී ලංකාවට ගෝලීය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 9.35ක් ලබා දීමට එකඟත්වය පළ කර ඇත.
ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව රෝග ත්‍රිත්වය තුරන් කිරීම, පාලනය කිරීම සඳහා වූ ගෝලීය අරමුදල ව්‍යාපෘතියට මූල්‍ය ආධාර සපයයි. පසුගිය 2021 වසරේ සිට ක්ෂය රෝගය සහ ඒඩ්ස් රෝග පාලනය, තුරන් කිරීම සඳහා මූල්‍ය පහසුකම් අරමුදල විසින් සපයනු ලැබේ.
ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා වන ජාතික උපාය මාර්ගික සැලැස්මේ සහ ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් වසංගතය අවසන් කිරීම සඳහා වූ 2023-2027 ජාතික උපාය මාර්ගික සැලැස්මේ නියමිත ඉලක්ක සහ අරමුණු ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව ද හඳුනා ගෙන ඇත.
එම අරමුණ සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට 2025-2027 මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමට ගෝලීය අරමුදල පියවර ගෙන ඇත. ඒ අනුව ක්ෂය රෝග සංරචකය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.97ක් සහ එච්අයිවී/ඒඩ්ස් පාලන වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.38 ක් වෙන් කර ඇත.
ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමට ගෝලීය අරමුදල නිර්දේශ කර තිබෙන අරමුදල් ක්ෂය රෝගය සහ ඒඩ්ස් පාලනය, තුරන් කිරීම සඳහා වූ ව්‍යාපෘති දෙක වෙන් වෙන්ම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
නිමල් ගුණතිලක