එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (27 දා) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි වජිර අබේවර්ධන මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේට අටපිරිකර පූජා කොට ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි වජිර අබේවර්ධන මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේට අටපිරිකර පූජා කර කෙටි පිළිසඳරක නිරත විය.
මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය –
වර්තමානයේ දේශපාලනය තුළ යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ කියන්නේ විරසක කට්ටියත් බලය වෙනුවෙන් අද එකතු වෙන බවක් පේන්නට තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර –
වෛරය, ක්‍රෝධය, කුහකකම නැති වේවා. මුලු රාජ්‍ය යාන්ත්‍රණයම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගැන රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ මේ රට බංකොලොත් වුණු අවස්ථාවේයි. නමුත් ඒ අවස්ථාවේදී කිසි කෙනෙක් රට වෙනුවෙන් එකතු වුණේ නැහැ. නමුත් එහෙමයි කියලා එතුමා එතුමාට පැවරුණු රාජකාරිය පැහැර හැරියේ නැහැ. රට වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කළා.
කොහොම නමුත් මේ අවස්ථාවේදී දේශපාලන කණ්ඩායම් එකතු වෙනවා පෙනෙන්නට තිබෙනවා. ඉතින් මගේ අදහස නම් ජාතියක් හැටියට එකතු වෙලා ඉදිරියට යා යුතුව තිබෙනවා යැයි පැවසීය.