සජබ මුලටියන දිනාගත් පසු මාලිමාව සභාවෙන් පිටව යයි
මැතිවරණයෙන් බහුතර බලයක් නොලැබුණු පළාත් පාලන ආයතන කිහිපයක නිලවරණය ඊයේ (26දා) දිනයේදීත් පැවැත්විණි.
ඒ අනුව ජාතික ජන බලවේගයට තංගල්ල නගර සභාවේත් බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේත් බලය හිමි වූ අතර අඹගමුව හා නිවිතිගල යන ප්‍රාදේශීය සභාවල බලය සමගි ජන බලවේගයට හිමි විය.
පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ තංගල්ල නගර සභාවේ පැවති විශේෂ රැස්වීමකදී රහස් ඡන්දයෙන් සභාපති සහ උප සභාපති තෝරා පත්කර ගන්නා ලදී.
සභාපති වශයෙන් ජාතික ජන බලවේගයේ නන්දසිරි පල්ලියගුරු මහතා ද උප සභාපති වශයෙන් චින්තක කැලුම් මහතා ද පත් වූහ.
අඹගමුව ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ අඹගමුවේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
එම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නාකන්දලගේ දොන් කපිල නාකන්දල මහතා විවෘත ඡන්ද 11 කින් තේරී පත් වූ අතර ජාතික ජන බලවේගයේ සභාපතිවරයා සඳහා යෝජනා කෙරුණු වසන්ත ප්‍රියදර්ශන මහතා ලබා ගත්තේ ඡන්ද 10ක් පමණි.
උප සභාපතිවරයා තේරීම රහස් ඡන්දයකින් පැවති අතර එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උඩගෙදර මුදියන්සේලාගේ හරීන්ද්‍ර ආසිරි උඩගෙදර මහතා ඡන්ද 12ක් ලබා ගනිමින් තේරී පත් විය. උප සභාපතිවරයා වශයෙන් තරග කළ විදාන ගමගේ හෙළප්‍රිය දර්ෂණ නන්දරාජ මහතා ඡන්ද 7ක් ලබා ගත් අතර ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී ඇත.
නිවිතිගල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ අජිත් කුමාර නාවලගේ මහතා වැඩි ඡන්ද 06කින් පත්වූ අතර නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දුමිර දිල්ෂාන් ගුණරත්න මහතාත් නිතරගයෙන් පත්විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්‍ෂයකට 50%ක බහුතරයක් දිනා ගැනීමට නොහැකි වූ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයකු සහ නියෝජ්‍ය සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වූ ඡන්ද විමසීම සබරගමු පළාත් පාලන කොමසාරිස් එල්. එම්. පී. ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 10.00ට නිවිතිගල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 24කගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා රහස් ඡන්දයෙන් ද එසේ නැති නම් විවෘත ඡන්දයෙන් ද යන්න විමසීම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලදී. රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට ඡන්ද 10ක් සහ විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට ඡන්ද 14ක් ලැබුණි. සභාවේ සිටි මන්ත්‍රීවරුන් 24 දෙනාගෙන් බහුතරයගේ කැමැත්ත අනුව සභාපතිවරයා විවෘත ඡන්දයකින් තෝරා පත්කර ගැනීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කළේය.
අනතුරුව පැවති සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයෙන් යෝජනා වූ එස්. මිල්ටන් විමලරත්න මතාට ඡන්ද 9ක් සහ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්‍ෂයෙන් යෝජනා වූ නාවලගේ අජිත් නාවලගේ මහතාට ඡන්ද 15ක් ද ලැබුණි.
ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 14ක් ලැබූ වැඩි ඡන්ද 6ක් ලබා නිවිතිගල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් නාවලගේ අජිත් කුමාර නාවලගේ මහතා තේරී පත්විය. මෙම ඡන්ද විමසීමට මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියෝ 24 දෙනෙක් ඡන්දය පාවිච්චි කළහ.
නියෝජ්‍ය සභාපති තනතුර සඳහා දුමින්ද දිල්ෂාන් ගුණරත්න මහතාගේ නම පමණක් යෝජනා වූ අතර වෙනත් නම් ඉදිරිපත් නොවූ නිසා නිතරගයෙන් නියෝජ්‍ය සභාපති තනතුරට දුමින්ද දිල්ෂාන් ගුණරත්න මහතා පත් විය.
බුලත්සිංහල ප්‍රා. සභාවේ පැවති රහස් ඡන්දයේදී ජා.ජ.බ. ඉදිරිපත් වූ පී. ඩී. සංජීව පුෂ්පකුමාර ඡන්ද 13ක් ලබා සභාපති ධුරයට පත් විය.
සභාපති ධුරයට අපේක්‍ෂකයන් තිදෙනකුගේ නම් යෝජනා වූ අතර විපක්‍ෂයෙන් ඉදිරිපත් වූ කොස්ගෙඩිය ස්වාධීන කණ්ඩායමේ අපේක්‍ෂකයාට ඡන්ද 9ක් ද සමගි ජන බලවේගයට ඡන්ද 3ක් ද හිමි විය.
කිසිදු පක්‍ෂයකට සියයට පනහක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ මුලටියන ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය ඇතුළු සන්ධානයට ලබා ගැනීමට හැකි විය.
සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රේණුක සංජය කුමසාරු මහතා ඡන්ද දහතුනක් ලබාගත් අතර ජාතික ජන බලවේගයේ එන්. ඒ. විජේතුංග මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද දහයක් පමණි. රේණුක සංජය කුමසාරු මහතා සභාපතිත්වයට පත්වීමත් සමගම ජාතික ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ. එසේ වුවද ගණ පර්ණය සම්පූර්ණ වී තිබීම නිසා සභා රැස්වීම තවදුරටත් පවත්වාගෙන යමින් උප සභාපතිවරයා ලෙස මහේන්ද්‍ර ලියනගේ මහතා තෝරා පත්කර ගන්නා ලදී.
අරුණ බෝගහවත්ත, තංගල්ල විශේෂ – එස්. එඩ්වින්, නුවරඑළිය – නාලක රත්නායක, කහවත්ත – සමරවීර නිරෝෂණ, නිවිතිගල – ධර්මසිරි ජයවර්ධන, මුලටියන – කේ. වසන්ත