ගුරු අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ගැටලු 4කට විසඳුම් ලබාදීමට රජයට සතියක කාලයක් ලබාදෙන බවත්, ඒ අනුව ඉදිරි සතිය තුළ මේ සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති සවනතිලක ගජධීර මහතා ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට බලපා ඇති ප්‍රධානම ගැටලු 4ට විසඳුම් ඉල්ලා ජාතික අධ්‍යාපන පීඨ 20ක, ගුරු විද්‍යාල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 112ක ඊයේ (26 දා) ආරම්භ කරන ලද වැඩ වර්ජනය සියයට සීයක් සාර්ථක බවද ඒ මහතා කියා සිටියේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද (27 වැනිදා) දෙවැනි දවසටත් ක්‍රියාත්මක බවද හෙතෙම කීය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයද සහාය දෙති. මෙහිදී කතාකළ ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ මාධ්‍ය ලේකම් කථිකාචාර්ය ඩී. කේ. ජී. විමලරත්න මහතා මෙසේ පැවසීය.
“අපි කියන්නේ මේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න කියලයි. වැටුප් විෂමතාව ඉවත්කිරීම, වැටුප් විෂමතාව විසඳන තෙක් අන්තර්කාලීන දීමනාවන් නොදීම, යෝජිත ගුරු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම, නිර්බාධ උසස්වීම් ක්‍රියාවලියට ගුරු අධ්‍යාපනඥ සේවය ද ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම යන ගැටලුවලට විසඳුම් ලබාදිය යුතුය.
සංගමයේ උප සභාපතිනි දිනේෂා සඳමාලි මහත්මිය – අපෙන් ඉගෙනගෙන යන ගෝලයන් සමාජය තුළ වැඩි වැටුපක් ගන්නවා. අපි ගන්නේ අඩු වැටුපක්. මේ නිසා අපිට සේවා තෘප්තියක් නෑ. ලංකාව ට ගුරුවරුන් බිහි කරන්නේ අපි. ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ ගැටලු ටික විසඳලා දෙන්න කියලයි.
සංගමයේ ලේකම් එස්. එම්. පී. බණ්ඩාර මහතා – ගුරු අධ්‍යාපනඥයන් හරිනම් 2100ක් ගන්න ඕනෑ. දැන් ඉන්නේ 690ක් විතරයි. විශාල හිඟයක් තියෙනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත