දේශපාලනඥයන් සුළු පිරිසක් ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් සිටින බවත් සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටින බවත් මොවුන් ජාතිවාදය හා ආගම්වාදය ඉස්මතු කරමින් ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා හමුවේ පැවසූහ.
මල්වතු මහ නාහිමියන් එසේ පැවසුවේ වෝල්කර් ටර්ක් මහතා ඊයේ (26 දා) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ මෙසේද පැවසූහ. මෙරට තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහජීවනයෙන් ජීවත් වෙනවා. අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් රටේ ඉන්නවා. එවැනි පිරිස් සෑම ජාතියකම වගේම සෑම රටකම ඉන්නවා. ඔවුන් යම් යම් අරමුණු වෙනුවෙන් ජාතික හා ආගමික සංහිඳියාව බිඳ දැමීමට උත්සහ කරනවා. දේශපාලනඥයින් සුළු පිරිසක්ද මේ අතර සිටිනවා. ඔබතුමා හමුවීමේ අපේක්ෂාවෙන් සිටි දෙමළ ජාතිකයන් දේශපාලනඥයන්ව පන්නා ගන්නවා අපි දැක්කා. ජනතාවගේ ඡන්ද අරන් කොළඹට වී කාලය ගතකර නැවත ඡන්දයක් එනවිට ගමට යන දේශපාලනඥයන්ව දැන් ජනතාව පිළිගන්නේ නැහැ. උතුරේත් එවැනි දේශපාලනඥයන් ඉන්නවා. අන්තගාමී ඇතැම් පිරිස් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වන බවට ලෝකය පුරා බොරු ප්‍රචාර ගෙන යනවා. පාසල් හා පිරිවෙන්වල දෙමළ භාෂාව උගන්වනවා. රජයේ සේවකයන්ට දෙමළ භාෂා දැනුම දෙනවා. මේ සියල්ල කරන්නේ ජාතික හා ආගමික සංහිඳියාව ඇති කිරීම මූලික කරගෙනයි.
මානව හිමිකම් කඩවීම පිළිබඳව අපේ රටට එරෙහිව 2014 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම චෝදනාවක් කළා. ඔබතුමත් රටට පැමිණියේ එවැනි දේකටද කියලා මම දැන ගන්න කැමතියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය. “රටවල් අතර යුද්ධ ඇතිවීම සමඟින් මේ වනවිට මානව හිමිකම් කඩවීමේ සිදුවීම් බහුලව වාර්තා වෙනවා. මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම කරන්නට අපිට විශාල වගකීමක් පැවරී තිබෙනවා. පසුගිය අවුරුදු 80ක කාලය සැලකීමේ දී ලෝකයේ වැඩියෙන්ම ගැටුම් පවතින කාලය ලෙස මෙම කාලවකවානුව හැඳින්විය හැකියි. සමාජයේ බෙදීම් වැඩිවෙලා. තවත් පැත්තකින් ජනතාව අතර දරිද්‍රතාව ඉහළ ගිහින්. බෞද්ධ දර්ශනය හා මානව හිමිකම් සුරැකීම සම්බන්ධව විශාල සම්බන්ධතාවක් තිබෙනවා. මිනිස්සු අතර පවතින බෙදීම් අවම කරන්න බෞද්ධ දර්ශනය තුළින් හොඳ පණිවිඩයක් සමාජගත කළ හැකියි.
මල්වතු මහා විහාරයට යෑමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපතිවරයා ශ්‍රී දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර දක්වා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සුහද පිළිසඳරක නිරත විය. ශ්‍රී දළදා මාලිගාවේ ජත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව ඒ මහතා මල්වතු මහා විහාරයට ගියේය.
අනතුරුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, කාරක සංඝ සභික පූජ්‍ය නාරංපනාවේ ආනන්ද, කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන යන නාහිමිවරුද සහභාගි වූහ.
සමන්ති වීරසේකර