ආණ්ඩුව කඩිනමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොකළහොත් විශාල ප්‍රශ්න රැසකට රටට මුහුණ දෙන්න සිදු වෙනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (26 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
ශ්‍රී ලංකාව අවසන් වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් ඇති කරගන්නා බවත්, ඒ සඳහා වගබලා ගන්නා බවත් ජනාධිපති අනුර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව භාරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ ආකාරයටම කරගෙන යෑමට අවශ්‍ය වෙනවා. ඒසේ සිදුවුණේ නැතිනම් නැවත රට පස්සට ගමන් කරන බව ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතා හමුවු අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගනුදෙනුවේදී ලංකාවට ලැබීමට තිබෙන මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් නෙවෙයි ලැබෙන්නේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතනවල මුදලුත් එකතු කරගෙනයි ලැබෙන්නේ. ඒ හරහා තමයි අයවැය සඳහා මුදල් ලැබෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල්වලින් බලශක්ති සඳහා හෝ සම්ප්‍රේෂණ සඳහා වියදම් කිරීමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබෙන්නේ එවැනි දේවල් සඳහා නෙවෙයි. අයවැය සඳහා තමයි ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතනවලින් මුදල් ලැබෙන්නේ.
ඒ වගේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජයිකා යන ආයතන එකතුවෙලා බලශක්ති ඇමැතිවරයාට ලියුමක් යොමුකරලා තිබෙනවා. ශ්‍රී ලංකාව ඉදිරිපත් කර තිබෙන 2024 වසරේ සම්මත වුණ විදුලිබල පනත ආපසු හරවා ගැනීම සම්බන්ධයෙන් එම ලිපියේ මූලික කාරණා 4 ක් සඳහන් වෙනවා.
සියලුම විදුලිය නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම, විදුලිය ජනනය කිරීමේ ආයතනය අයිතිය රජය සතු කරගත යුතු බව මෙම මුලික කාරණාවල සඳහන් වෙනවා. ඒ වගේම වික්ටොරියා, රන්දෙනිගල, රන්ටැඹේ ජල විදුලි බලාගාරවලින් අඩු මුදලට විදුලිය ජනනය කරනවා. ඒ වගේම නොරොච්චෝලය වගේ ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර තිබෙනවා. ඒ වගේම සූර්ය බලාගාර සහ සුළං විදුලි බලාගාර තිබෙනවා. මේ සියලුම බලාගාර රජයට අයත් බලාගාර. 2024 වසරේ සම්මත වුණ විදුලිබල පනත හරහා මෙම ආයතන සියල්ල කොටස්වලට කඩනු ලැබුවා. විදුලිය ජනනය කළ සියලුම ආයතන කොටස්වලට කඩනු ලැබුවා. ඒ වගේම මේ යටතේ මහවැලියට අයත් විදුලි බලාගාර රජය සතුව තබා ගන්නා බවත් අනෙකුත් බලාගාර රජය සතු කරගන්නා බව ස්ථිරව සඳහන් කරලා නෑ. අනෙකුත් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර අවශ්‍ය නම් කොටස් වෙළඳපොල හරහා ලබාගැනීමට හැකි බව විදුලිබල පනතේ සඳහන් වෙනවා.
අකිත පෙරේරා