පුනර්ජනනීය බලශක්ති (සූර්ය විදුලිබල) උත්පාදකයන්ට එම විදුලිය මිලදී ගැනීමේදී රජය ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සූර්ය විදුලිබල නිෂ්පාදකයන් 17 දෙනකු විසින් ගොනු කර ඇති පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන අගෝස්තු 04 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (25දා) නියෝග කළේය.
විදුලි හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය යටතේ නීතිඥ චලනි ද අල්විස් මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිඥ මනෝහර ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
වහලවල් මත සවිකර ඇති සූර්ය බලශක්ති කෝෂ මගින් නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මෙන්ම ලංකා විදුලි සමාගමද ගෙවනු ලැබූ ගාස්තු අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අත්තනෝමතික බවත් එය දැඩි අසාධාරණ බවත් විදුලිබල පනත අනුව එවැනි මිල අඩුකිරීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවත් මේ දක්වා එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් අධිකරණයට කියා තිබිණි.
ඒ සම්බන්ධයෙන් තමන් කළ පැමිණිලි සලකා බැලූ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අමාත්‍ය මණ්ඩලයේ එකී තීරණය ක්‍රියාත්මක නොකරන ලෙසට වගඋත්තරකරුවන්ට දන්වා ඇතත් එය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් පෙත්සම්කරුවන් අධිකරණයට කියා තිබිණි.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මෙවැනි ආකාරයෙන් ගාස්තු අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් වන බැවින් එකී අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම් අසා අවසන්වන තුරු අදාළ ගාස්තු අඩුකිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලය, එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා, ලංකා විදුලි පෞද්ගලික සමාගම, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක