වයස අවුරුදු 16 ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙඳාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16 – 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම 2025.07.01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන අදාළ බලධාරීන් මගින් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මේ අනුව වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරි රැකියාවල ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළක් මගින් මහජනතාව දැනුම්වත් කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් සිය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ගැන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සඳහා මෙසේ අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකු, ළමයකු වශයෙන් නිර්වචනය කරනු ලැබ ඇත. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, රටේ මුළු ජනගහනයෙන් සියයට 30 ක් පමණ ළමා ජනගහනයට අයත් ය. ඇතැම් ළමුන් විවිධ හේතූන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති බවත් තමාගේ මව හෝ පියා සමග, එසේ නොමැති නම් මිනිස් වෙළෙඳාමේ ගොදුරක් ලෙස ‘විදි දරුවකු’ බවට පත් වී දෙමාපියන් නොවන අයකු සමග පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අලෙවි කරන බව හඳුනාගනු ලැබ ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත