හෙද සභාවේ සභාපතිත් කරුණු කියයි
ශ්‍රී ලංකාවේ දැනට සේවයේ නියැළෙන හෙද හෙදියන් විදේශවලට සංක්‍රමණය වීමට හේතු වන ප්‍රධාන කරුණු 07ක් හඳුනාගෙන ඇතැයි, ශ්‍රී ලංකා හෙද සභාවේ (SLNC) සභාපති එස්. කීර්තිරත්න මහතා පවසයි.
හෙද හෙදියන් විදේශවලට සංක්‍රමණය වීම සම්බන්ධයෙන් හේතු සාධක සහ සදාචාරාත්මක කරුණු එහි වාසි අවාසි වැනි දෑ සොයා බැලීමට ශ්‍රී ලංකා උපාධිධාරී හෙද සංගමයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කීර්තිරන්න මහතා මෙම අදහස් දැක්වීම සිදුකළේය.
ශ්‍රී ලංකාවේ අඩු වැටුප් හා සීමිත ප්‍රතිලාභ, වැඩි සේවාමුර සහ වැඩි බර, වෘත්තීය සංවර්ධනය සඳහා සීමිත අවස්ථා, වෘත්තීය ගෞරවය, පළිගැනීම සහ වෘත්තීය අනන්‍යතාවය නොමැතිකම, වෘත්තීය ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් නොවීම, පිරිමි හෙදියන් සඳහා සීමිත සේවා අවස්ථා ලබාදීම සහ දේශපාලන හා ආර්ථික අස්ථාවරතාවය යන කරුණු 07 හඳුනාගෙන ඇතැයි ද ඔහු කීය.
එමෙන්ම ඉහළ වැටුප් සහ වඩා හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් තිබීම, වෘත්තීය පුහුණුව සහ උසස් වෘත්තීය සංවර්ධනයේ අවස්ථා, වැඩ කිරීමට ගුණාත්මක පරිසරයක් සහ ආරක්‍ෂාව සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ අවස්ථා යන කරුණු විදෙස් රටවලට සංක්‍රමණය වීමට හේතු ලෙස හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීය.
ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනි දීපානි කරුණාරත්න මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ 2024 වර්ෂයේදී සෞඛ්‍ය සේවාවේ හෙද කාර්ය මණ්ඩලයේ 2679 දෙනා අතරින් 58 දෙනකු විදේශගතවී ඇති බවත් මෙය සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍රයට දැඩි බාධාවක් බවත් ය. ඉහළ පුහුණුවක් සහිත හෙද නිලධාරීන් විදේශගත වීම විශේෂයෙන් දැඩිසත්කාර ඒකක, ළමා රෝග ඒකක සහ වෛද්‍ය වාට්ටු ආදියට දැඩි ලෙස බලපා ඇති බව ද එම නිසා ඉතිරි හෙද හෙදියන්ට අධික වැඩමුර සංඛ්‍යාවක් යටතේ වැඩ කිරීමට සිදුවන බව ද ඇය පැවසුවාය. ඇතැම් හෙදියන්ට පැය 24ක කාලයක් වැඩ කිරීමට වන බවත් මාසිකව රාත්‍රි සේවාමුර 15ක් දක්වා ඉටුකිරීමට සිදුව ඇති බවත් ඇය කීවාය. වෛද්‍ය වාට්ටු සඳහා දිනකට රෝගීන් 8000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත් ඇතැම් රෝගීන් බිම සිටියදී ප්‍රතිකාර කිරීමට හෙද හෙදියන්ට සිදුවන බවත් ඇය කීවාය. අධික වැඩ බර, තෙහෙට්ටුව සහ පළපුරුදු උපදේශකයන් නොමැතිකම හේතුවෙන් රැකවරණය, ගුණාත්මකභාවය අඩාල වී වෛද්‍ය දෝෂ සහ ආසාදන අවදානම වැඩි වී ඇති බව ද ඇය කීවාය.
චමින්ද සිල්වා