හිටපු රාජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් වෙනත් අධිකරණයක් වෙත යොමු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වෙත යොමු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (24දා) නියෝග කළාය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී ලංකා ජයරත්න මහත්මිය විසින් සිය සේවාදායකයාට එරෙහිව පවරා තිබූ නඩුවක් විභාග කොට ඔහුට වසර තුනක සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂ තුනක දඩයක් නියම කර ඇති බැවින් මෙම නඩුව වෙනත් මහාධිකරණයක් හමුවට යොමු කරන්නැයි විත්තිකාර සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා කළ ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය එම නියෝගය කළාය. ඒ අනුව එම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා වෙත යොමු කිරීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය. කෙසේ නමුත් තමා ද විත්තිකර සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුවේ චෝදනාවලට සමාන චෝදනා යටතේ වූ අභියාචනයක් විභාග කොට ඇති බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා එම නඩුව මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවීමට යොමු කළේය.
එම නඩුව ලබන අගෝස්තු 20 වැනිදා තම අධිකරණය හමුවේ කැඳවීමට මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා නියෝග කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගැනීමේදී සිදුවී ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව නඩු අටක් පවරා තිබූ අතර ඉන් නඩු හතරක් විභාග කළ මහාධිකරණය එම විත්තිකරු නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. එකී නියෝගයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ගොනු කර තිබූ අතර ඒවා ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ ලංකා ජයරත්න මහත්මිය 2020 වසරේදී ලබාදුන් තීණ්දුවකට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රතිශෝධන අයැදුම්පතක් සලකා බැලූ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා එම තීන්දුව බලරහිත කොට විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කොට තිබිණි. මහාධිකරණයේ එකී තීන්දුවට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කළ අභියාචනාවක් ද ඉදිරියේදී අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
ඒ. ජේ. ඒ. අබේනායක