අවංක නිලධාරීන් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටිනවා
රජයක් ලෙස මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ රජයේ රෝහල් පද්ධතිය මගින් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන අතර එම ඖෂධ යම් අවස්ථාවන්වලදී රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති විටෙක රෝගී ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා එම ඖෂධ පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් කටයුතු කර ප්‍රාදේශීයව මිලදී ගැනීමට කටයුතු කරන ලෙසත්, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය අවංක නිලධාරීන් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින බවත් රෝහල් බලධාරීන් හමුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණ කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණ කර සිටියේ පසුගියදා වෛද්‍ය සැපයීම් දේශීයව මිලදී ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවකට එක්වෙමිණි. එම වැඩමුළුව කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හිදී ඇති වන ඖෂධ හිඟයට විසඳුම් සෙවීමට කටයුතු කිරීම මෙන් ම වර්තමාන ඖෂධ කළමනාකරණ පද්ධතිය වන “ස්වස්ථා” පද්ධතිය හරහා සිදුවන මිලදී ගැනීම් සහ එම කටයුතුවලදී පැන නගින ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සෙවීම මූලික කරගනිමින් මෙම වැඩමුළුව පවත්වන ලදි.
ඖෂධ දේශීයව මිලදී ගැනීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් සමහර සෞඛ්‍ය ආයතන භාර නිලධාරීන්ට නොමැති බව මෙහිදී පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, දේශීය මිලදී ගැනීම් සම්බන්ධව 2023 මාර්ගෝපදේශයක් සකස් කර ඇති බවත්, ඒ තුළින් රෝහලක් තුළ බාහිර රෝගී අංශයේ රෝගීන්ට, සායන රෝගීන්ට ඇතුළු විවිධ අවස්ථාවල ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලිව පෙන්වාදී ඇති බවද පැවසීය.
මේ සියල්ලටම නීතිමය රැකවරණය ලබාගැනීම සඳහා නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු ඒ ඒ රෝහල්වල පැවැත්විය යුතුව තිබෙන බවද සඳහන් කළ ඇමැතිවරයා ඒ බව මාර්ගෝපදේශයේ සඳහන් බවත්, තමන් පෞද්ගලිකව සොයා බැලීමේ දී බොහෝ රෝහල්වල එම කටයුතු නිසි ආකාරයට සිදු නොවන තත්ත්වයක් පවතින බව පෙනී ගියේ යැයිද පැවසී ය. රෝහල් මට්ටමින් එක් එක් අංශ ගත් විට ඒ ඒ අංශවලට අවශ්‍ය ඖෂධ වර්ග තෝරාගෙන ඖෂධ අටසිය හැට ගණනක සහ ශල්‍ය උපකරණ දොළොස් දහස් ගණනකින් යුතු ජාතික ලැයිස්තුව සකස් කරන බවත්, ඒ සියල්ල විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනවලින් විමසා මාර්ගෝපදේශයන්ට අනුව නම් කරන ලද ඖෂධ එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සමහර විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු ඉන් එහා ගිය ඖෂධ නිර්දේශ කරන බවත්, එම ඖෂධ ලැයිස්තුවේ නොමැති වීම හේතුවෙන් එම ඖෂධද ඖෂධ හිඟය යන පැත්තට වැටෙන හෙයින් ඖෂධ හිඟය පිළිබඳ ගැටළුවේදී එයත් ප්‍රධාන ගැටළුවක් වන බවද වැඩිදුරටත් පැවසී ය. පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල නියාමනයක් මේ වන විට නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඖෂධ මිල නියාමන යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවත්, ඉදිරියේදී පෞද්ගලික ඔසුසැල්වල ඖෂධද මිල නියාමනයකට ලක් කරන බවද පැවසීය. මෙය සිදු කිරීමෙන් පසුව ප්‍රාදේශීය මිලදී ගැනීමේ ක්‍රියාවලියටද පහසුවක් වන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

මෙම වැඩමුළුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර, යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රෝහල් සහ සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරීවරුන්, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන ඖෂධවේදීන්, ප්‍රධාන ගණකාධිකාරීවරුන්, වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.