පැය එකහමාරක ප්‍රමාදයකින් කටුනායකට යානා එනවා – කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපතිනිය
මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල් සිය ගුවන් කලාපය (Aero Space) ඊයේ (24දා) අලුයම 01.00 පමණ සිට යළි විවෘත කර ඇති බැවින් එම කලාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව පැමිණෙන බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය ඊයේ උදෑසන 09.00 ට පැවසුවාය.
එසේම කටාර් රාජ්‍යයේ ගුවන් කලාපය මේ වන තෙක් වසා දමා තිබුණ ද ඉතා සීමිත පරිදි සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඇය පැවසුවාය. එසේම ඊයේ උදෑසන වනවිට මැදපෙරදිග කලාපයේ රටවල් වෙත හරවා යවා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව ද රෝෂනී මාසකෝරාළ මහත්මිය කියා සිටියාය.
කටාර් රාජ්‍යයේ දෝහා සිට පෙරේදා (23) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය මෙතෙක් පැමිණ නැති අතර කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව යෑමට නියමිත ගුවන් යානයේ ද නිෂ්කාශන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටු සභාපතිනිය පැවසුවාය.
මැදපෙරදිග බලා ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානාවල නිෂ්කාශන කටයුතු ඊයේ පස්වරු 02.30 සිට ආරම්භ කරන බවත් අනෙකුත් ගුවන් ගමන් ප්‍රමාද වී ක්‍රියාත්මක වෙමින් පවතින බවත් රෝෂනී මාසකෝරාළ මහත්මිය කීවාය.
කටුනායක – ටී.කේ.ජී. කපිල