කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් හයදෙනා අතරින් කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හයදෙනා තවදුරටත් ලබන ජූලි මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ඊයේ (23දා) පස්වරුවේ නියම කළාය.
මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ හයවන සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දේශාල් පෝල් මහතා තම සේවාදායකයාට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සම්බන්ධව සැකකරු මේ සිද්ධියට දායකත්වය ලබාදී සක්‍රීයව සම්බන්ධ වී තිබෙන බවට විමර්ශනවලින් පෙනී යන බවද මෙය පොදු දේපළ පනත යටතේ පවරා තිබෙන හෙයින් ඇප ලබාදීම සඳහා අසාමාන්‍ය හා සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බවද ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබා දුන්නාය.
මීට ඉහත පැවැති නඩු දිනයේදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දේශාල් පෝල් මහතා තම සේවාදායකයාට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සම්බන්ධව නියෝගය ඊයේ (23දා) ලබාදෙන බවට මහෙස්ත්‍රාත්වරිය කර තිබූ ප්‍රකාශය අනුව එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබාදෙන ලදී.
මේ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛi ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හයදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.
මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔවුහු ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්හ. ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.
දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය මේ නඩුව සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර එහි ස්ථාවරය අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් ලබන ජූලි මස 07 වන දිනට දෙවන සැකකාර මර්වින් සිල්වා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරියවරයාට නියෝග කරනු ලැබුවාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත ඩෙන්සිල් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු, විශ්ව ගුණරත්න, දේශාල් පෝල් හා පියුමි උදාරා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන, කැලණිය – මංගලා මදුරප්පෙරුම හා , බියගම – සුදත් පුබුදු කීර්ති