අද (24දා) පැවැත්වීමට නියමිතව තිබූ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (23දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම ප්‍රාදේශීය සභාව සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත හා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිලධාරියා වෙත එකී අතුරු තහනම් නියෝගය නිකුත් කර වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට ද නියෝග කෙරිණි. පෙත්සම ලබන ජූලි 16 වැනිදා යළි කැඳවීමට ද අධිකරණය දින නියම කළේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එකී නියෝග කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ද පැමිණිලි කළ නමුත් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව කියා සිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා තේරීම් භාර නිලධාරියාගේ නීතිවිරෝධී තීරණය මත සභා රැස්වීම පැවැත්වුවහොත් ඉන් දැඩි අගතියක් සිදුවන බවද පැවසීය.
අදාළ ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ හොත් එම ප්‍රාදේශීය සභාව මගින් සිදුකිරීමට අපේක්ෂා කරන මහජන සේවාවලට දැඩි අගතියක් සිදුවන බැවින් එකී අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයාගේ එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා පෙත්සම්කරුගේ නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක