එදා වංචාකරුවන්, දූෂිතයන් යැයි කී පිරිස් සමග එකතු වී ආණ්ඩුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවත්, මේ නිසා ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය දිනෙන් දින වැඩිවන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
සමගි ජන බලවේග පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කතාකළ හිටපු මන්ත්‍රීවරිය මෙසේද කීවාය.
“වෙනස් දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව තමයි ජාතික ජනබලවේගය නිතරම ප්‍රකාශ කළේ. ඒ වගේම ජාතික ජනබලවේගය වෙනස්ම ආකාරයකට රට පාලනය කරන බව තමයි ප්‍රකාශ කළේ. ඒ වෙනස පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමේදී හොඳින්ම පෙනෙන්න තිබෙනවා.
ජාතික ජනබලවේගයට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුණ පළාත් පාලන ආයතනවල සිටින ස්වාධීන මන්ත්‍රීවරුන්ට සහ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ හොර රහසේ සාකච්ඡා පවත්වා ඔවුන්ට වරදාන වරප්‍රසාද ලබාදී සභාපති හෝ නගරාධිපති තෝරන ඡන්දය රහස් ඡන්දයක් ලෙස පවත්වන්න ජාතික ජනබලවේග කණ්ඩායම උත්සහ දරනවා. ඔවුන් එලෙස රහස් ඡන්ද පවත්වන්න කටයුතු කරන්නේ විවෘත ඡන්දයකට යන්න ජාතික ජනබලවේගය බය නිසයි. වෙනස් දේශපාලන පක්ෂයක් ලෙස පෙන්වන්න උත්සාහ කළ ජාතික ජනබලවේගයේ පිරිස අද වනවිට හොර රහසේ ඩීල් දේශපාලනයක නිරත වෙනවා. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව ලැජ්ජයි.
ජාතික ජන බලවේගයේ ඩීල් දේශපාලනය නිසා ආණ්ඩුව දැන් ජනතා අප්‍රසාදයට ලක්වී අවසානයි. ඒ වගේම ස්වාධීන කණ්ඩායම් සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සිටින්නේ හොරුන් වංචාකාරයින් දුෂිතයින් බව පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් අවසානයේ ජාතික ජනබලවේගය හොරුන් වංචාකාරයින් දුෂිතයින් ලෙස හඳුන්වපු පිරිස සමඟ එකතුවෙලා පළාත් පාලන ආයතනවල බලය ලබාගන්න ජාතික ජනබලවේගය කටයුතු කරනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගයට බලය දුන්න ජනතාව මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.