ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ඊයේ (20දා) පැවති ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂකයාට පක්ෂව ඡන්දය දී එම නගර සභාවේ උප නගරාධිපති ධුරයට පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම පක්‍ෂය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ප්‍රියන්ත සහබන්දු මහතාට එරෙහිව පක්‍ෂය මගින් ඉදිරියේදී විනය පියවර ගැනීමට නියමිත බවයි.
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අදාළ මන්ත්‍රීවරයා දැනුවත් කර තිබියදී ඊට පටහැනිව ඡන්දය ප්‍රකාශ කර ඒ තුළින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්වීමට එරෙහිව ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත.
ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමට අදාළව ඊයේ (20දා) පැවැති ඡන්ද විමසීමේදී රහස් ඡන්දයක් පැවැත්වීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සභා ගැබෙන් පිටව ගිය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත සහබන්දු, නිහාල් මහවිතාන හා චම්පිකා නිමාලි යන සභිකයෝ තිදෙනා ජාතික ජනබලවේගයේ සභිකයන් සමග සභා ගැබේ රැඳී සිටියහ.
කමල් බෝගොඩ