සංගීත ප්‍රසංග සහ සැණකෙළි සඳහා පොලිස් ආරක්ෂාව සැපයීම වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී වැඩි කරන ලද මුදල සියයට 50කින් අඩු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20දා) පැවසීය.
එම අය කිරීම් පසුගිය මාර්තු මාසයේදී චක්‍රලේඛයක් මගින් විශාල වශයෙන් ඉහළ දැමුණි. සංගීත ප්‍රසංග සහ සැණකෙළි සඳහා ආරක්ෂාව සැපයීමේ දී දිනකට පොලිස් කොස්තාපල්වරයකුගේ සේවාව වෙනුවෙන් රුපියල් 900 ක් වූ ගාස්තුව රුපියල් 4800 දක්වා ද සැරයන්වරයකුගේ සේවාව වෙනුවෙන් රුපියල් 1200ක මුදල රු.5200 දක්වා ද ඉහළ දමා ඇති බව විපක්ෂ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකදී කීය.
එලෙස එම ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියැළි ලක්ෂ 10ක පමණකට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඊට පිළිතුරු දෙමින් විෂයභාර ඇමැතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ප්‍රසංග සංවිධානය කරනු ලබන සංවිධායකයන් සහ ශිල්පීන් ජනාධිපතිවරයා ද හමු වූ බවත් ඔවුන් සමග පැවැති සාකච්ඡාවකදී අදාළ වැඩි කරන ලද මුදල් සියයට 50කින් අඩු කළ බවත්ය.
සංගීත ප්‍රසංග සහ සැණකෙළි සඳහා ආරක්ෂාව සැපයීමේ දී පොලිස් ආරක්ෂාව වෙනුවෙන් පසුගිය 2024 වසරේදී ලැබූ ආදායම රුපියල් මිලියන 47.3 කි. පසුගිය මාර්තු මාසයේ දී එම ගාස්තු වැඩි කිරීමෙන් පසුව එය මෙම වසරේ (2025) මැයි 31 දක්වා කාලයේ දී රුපියල් මිලියන 109 දක්වා වැඩිවී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන