මාලිමාවට 6යි / සජබෙට 6යි / ස්වාධීන 1යි
මෙවර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඡන්ද බලය හිමිකරගත් තවත් පළාත් පාලන ආයතන කීපයක මංගල සභා රැස්වීම් කීපයක සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් ඊයේ (19දා) තෝරා පත්කර ගන්නා ලදී.
මෙහිදී පළාත් පාලන ආයතන 6ක බලය ජාතික ජන බලවේගයට ද තවත් පළාත් පාලන ආයතන 7ක බලය සමගි ජන බලවේගයට ද තවත් පළාත් පාලන 1ක බලය ස්වාධීන කණ්ඩායමකට ද හිමිවිය.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බිංගිරිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් සමගි ජන බලවේගය ඊයේ (19දා) සමත්විය.
ඒ අනුව බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කමල් විශ්වනාත් ගුණවර්ධන මහතා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඊයේ තෝරාපත් කරගන්නා ලදී.
මෙහි උපසභාපති තනතුර සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වූ ලලිත් නාලක තෙන්නකෝන් මහතා තේරී පත්විය.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබාගැනීමටත් ඊයේ සමගි ජන බලවේගය සමත්විය.
ඒ අනුව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රාජනායක මහතා අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්විය.
මේ අතර හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායම අත්කර ගැනීමට සමත්විය. ස්වාධීන කණ්ඩායම යටතේ තරග වැදි කොට්ඨාස 5ක් ජයග්‍රහණය කළත් බහුතරයක් හිමි නොවීම හේතුවෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා ඉදිරියේ පැවැති විවෘත ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය ඇතිව ස්වාධීන කණ්ඩායම බලය හිමිකරගන්නා ලදී. එහිදී නගර සභාපතිවරයා ලෙස උපුල් දිසානායක මහතා තෝරා පත්කරගන්නා ලදී.
මේ අතර, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ තරිඳු ධනංජය මහතා තේරී පත්විය.
උප සභාපති තනතුරට ජාතික ජන බලවේගය නියෝජනය කළ චින්තක නිර්මාල් මහතා තේරී පත්විය.
යටියන්තොට ප්‍රාදේශීය සභාපතිවරයා හා උප සභාපතිවරයා තේරීම යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය සභාවට සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ආනන්ද කුලසුන්දර මහතා තේරී පත්විය. උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ රන්ජිත් ජයසේකර මහතා තේරී පත්විය.
කළුතර දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ජාතික ජන බලවේගය නියෝජනය කළ නිලුෂ කවිරත්න මහතා තේරී පත්විය.
මෙහිදී පැවැති රහස් ඡන්ද විමසුමේදී ජාතික ජන බලවේගයට ඡන්ද 14ක් ද සමගි ජන බලවේගයට ඡන්ද 10ක් ද හිමිවිය. එහි උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජනක විතාන මහතා තේරී පත්විය.
කන්තලේ ප්‍රාදේශීය සභාවට සභාපතිවරයකු තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම ඊයේ (19දා) පැවැති අතර, ජාතික ජන බලවේගයේ ඩී.එම්. තාරක සඳරුවන් සම්පත් මහතා සභාපතිවරයා ලෙස තේරී පත්විය.
උප සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී රහස් ඡන්දයට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටව යෑම නිසා උප සභාපතිවරයකු තෝරාගැනීමට සහ ගණ පූර්ණයක් නොමැති වීමෙන් සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට අභිනව සභාපතිවරයාට සිදුවිය.
තඹලගමුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේ බලය ද ජාතික ජන බලවේගය හිමිකරගැනීමට ඊයේ (19දා) සමත්විය.
ඒ අනුව තඹලගමුව අභිනව ප්‍රාදේශීය සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වූ කාලිබ් අලී මහතා ඊයේ තෝරා පත්කරගන්නා ලදී.
මේ අතර හලාවත නගර සභාවේ බලය ද මෙවර මාලිමාවට හිමිවිය. ජාතික ජන බලවේගය ඉල්ලූ රහස් ඡන්දයට විපක්ෂය විරුද්ධ විය. විපක්ෂයට එහි ආසන 11ක් මාලිමාවට 9ක් හිමිව තිබිණි. කෙසේ වෙතත් අවසානයේ රහස් ඡන්දයක් සඳහා පැවැති රහස් ඡන්දයේදී ඊට පක්ෂව 11ක් ද විරුද්ධව 9ක් ද ඡන්ද ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව පැවැති ඡන්දයට මාලිමාවෙන් ඉදිරිපත් කළ සුමේධ පෙරේරා මහතා ඡන්ද 10ක් ද අනෙක් පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ නීතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඡන්ද 9ක් ද ලබාගැනීම නිසා එහි බලය මාලිමාවට හිමිවිය. සුරංග ද සොයිසා (පොඑපෙ) ඡන්දය දීමෙන් වැළකී සිටීම ද මෙහිදී කැපිපෙනුණි.
එහි උප සභාපති තෝරන ඡන්දයේදී මාලිමාවෙන් හිලරි ප්‍රසන්න මහතාගේ කණ්ඩායමෙන් ස්වාධීනව ජයගත් චන්දිමා සුභාෂිණි ඉදිරිපත් කළ අතර විපක්ෂයෙන් හිලරි ප්‍රසන්නව ඉදිරිපත් කෙරිණි.
අනතුරුව චන්දිමා සුභාෂිණි තරගයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිලරි ප්‍රසන්න නිතරගයෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්විය.
මේ අතර මහනුවර පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ අරුණ ශාන්ත මහතා පත්විය. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය සභාවේ බලය ද ඊයේ සජබයට හිමිවිය. සජබ චන්ද්‍රා මංජුල සෙනෙවිරත්න මහතා අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත්වූයේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, බන්දු තඹවිට – මතුගම, කේ.කේ. දයාසේන – කටුවන, කේ.කේ.ඩී. රූපසිංහ – යටියන්තොට, වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය, සෝමසිරි ඒකනායක – බිංගිරිය, නයනානන්ද බුවනෙක – හපුතලේ, ඩබ්.එම්. වික්‍රමසිංහ – කන්තලේ, ස්වර්ණ ශ්‍රී මහවත්ත – හලාවත