ඊශ්‍රායල් සහ ඉරාන යුද්ධය නිසා මෙරටට සිදුවන බලපෑම් පිළිබඳව කඩිනම් විවාදයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 19 (2) ඈ යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වූ අතර එම යෝජනාව සඳහා මන්ත්‍රීවරු 20 දෙනකුට වැඩි පිරිසක් සිය අසුන්වලින් නැගිට කැමැත්ත ප්‍රකාශ කළහ.
ඊශ්‍රායල් – ඉරාන යුද්ධය කේන්ද්‍ර කර ගෙන බරපතළ ගැටලුවක් ඇතිව තිබෙනවා. අප රටේ 10,000ත් 20,000ත් අතර පිරිසක් ඊශ්‍රායලයේ රැකියා කරනවා. මොවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම ඉරානය අප රටේ තේ අපනයන ගමනාන්තයක් ලෙස ප්‍රධානතම තැනක් ගන්නවා. මේ යුදමය තත්ත්වය තුළ තේ කර්මාන්තයට අපනයනවලට මුහුණ දෙන්න ඇති බරපතළකම ගැන සාකච්ඡා කළ යුතුයි. මේ යුද්ධය නිසා තෙල් මිලට ද විශාල බලපෑමක් විය හැකියි. එමගින් ආර්ථික වර්ධනයට, නිෂ්පාදන ධාරිතාවට කර්මාන්ත පද්ධතිය ඇතුළු සමස්ත ජන පරපුරට විශාල අගතිගාමී තත්ත්වයක් ඇතිවිය හැකි නිසා විධිමත් සාකච්ඡාවක් සඳහා ප්‍රවේශ විය යුතුයි” යැයි ද විපක්‍ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අනුමැතිය හිමිවූ අතර සභානායක බිමල් රත්නායක මහතා ඊට පිළිතුරු ලබා දෙමින් එම විවාදය පස්වරු 3.30 සිට ආරම්භ කළ හැකි බව කීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන