2ක් යළි බසිති: – 4ක් වහල උඩ
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයන් බව කියන රැඳවියෝ 06 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකරනු ලබන සෝදිසි කිරිම් නවතන ලෙස ඉල්ලා එම බන්ධනාගාරයේ වහලය මත නැගී ඊයේ (18දා) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.
එම 06 දෙනාගෙන් දෙදෙනකු ඊයේ දහවල් වනවිට විරෝධතාව නවතා බිමට බැස ඇති බවත් ඉතිරි 04 දෙනා ඊයේ සවස පමණ වන තෙක් වහලය මත රැඳී විරෝධතාවේ නිරතවී සිටි බවත් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.
බූස්ස බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අවස්ථා කිහිපයකදීම ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගත් බවත්, ඒ අනුව එම බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් ඒ මහතා කීය.
බන්ධනාගාරයේ සිදුකරන සෝදිසි කිරීම් නතර කරන ලෙස රැඳවියන්ට කිව නොහැකි බවත් ඔවුන්ට තහනම් භාණ්ඩ ඔවුන්ට ලැබෙන්නේ කෙසේ ද සොයා වෙනම විමර්ශනයක් සිදුකරන බවත් වීරසිංහ මහතා පැවසීය.
චමින්ද සිල්වා