වෙන්නප්පුව නගරයේ නිවසක සිටි මුරකරුවකු සාහසික අන්දමින් ඝාතනය කර එහි තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමෙන් යුත් සුඛෝපභෝගී වෑන් රථයක් පැහැරගෙන ගිය ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සීදුව ප්‍රදේශයේ සැඟවී සිටියදී වෙන්නප්පුව පොලිසිය මගින් ඊයේ (16දා) අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ පුළුල් විමර්ශනයකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.
අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම වෑන් රථය පැහැරගෙන ගොස් විකිණීමට සැලසුම් කරගෙන සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
සැකකරුවන් පැහැරගත් වෑන් රථය මහනුවර ප්‍රදේශයේ දී විකිණීමට උත්සාහ කර ඇතත් එය මිලදී ගැනීමට සූදානම්ව සිටි පුද්ගලයා මෙම රථය පැහැරගත් එකක් බව හඳුනාගෙන එය මිලදී ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
එහිදී බියට පත්වූ සැකකරුවන් දෙදෙනා වෑන් රථය මහනුවර නගරයේ අතහැර දමා සීදුවට පැමිණ සැඟවී සිට ඇත.
මෙම කොල්ලය සිදුවන අවස්ථාවේ තිබූ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන සිදුකළ පොලිසිය සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෑන් රථයේ හිමිකරු විදේශගතව සිටින අතර කොල්ලය සිදුකර ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරන් දෙදෙනකු විසින් බව පසුව හෙළි විය.
විදේශගතව සිටින වෑන් රථයේ හිමිකරු වෙන්නප්පුවේ පිහිටි සිය නිවසේ ආරක්‍ෂාවට 64 හැවිරිදි පුද්ගලයකු නතර කර ඇත. සැකකරුවන් දෙදෙනා මෙම මුරකරු සමග සබඳතාවක් ගොඩනඟාගෙන පසුව ඉකුත් 13 වැනිදා නිවසට පැමිණ තිබේ.
එහිදී මුරකරුට පහර දී ඔහු නිරුවත් කර අත්පා ගැටගසා ගෙල සිරකර ඔහු ඝාතනය කර ඇත.
පසුව නිවසේ තිබූ වෑන් රථය සහ එහි බලපත්‍ර සියල්ල සොරාගෙන ගොස් තිබිණි.
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද ගුණසේන, උප පොලිස් පරීක්‍ෂක සිරිවර්ධන, සැරයන්වරුන් වන ශාන්ත (54923), බණ්ඩාර (27580), ඉඳුනිල් (88553), ඒකනායක (100722), පුෂ්පකුමාර (85186) ඇතුළු නිලධාරීන් විමර්ශන පැවැත් වූහ.
හේමන්ත රන්දුණු