ලංකා ඔටෝ මොබයිල් සංගමයේ හිටපු උප සභාපති කීර්ති ගුණවර්ධන නමැත්තා විසින් ලංකා ඔටෝ මොබයිල් සංගමයට එරෙහිව ඒකපාර්ශ්වීය ලෙස ලබාගෙන තිබුණු වාරණ නියෝගයක් වහාම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේය.
පැමිණිලිකාර කීර්ති ගුණවර්ධන අධිකරණයෙන් වාරණ නියෝගය ලබාගෙන ඇත්තේ අධිකරණය නොමග යවනසුළු කරුණු ඉදිරිපත් කොට සංගමයේ ක්‍රියා කලාපය පිළිබඳව වැදගත් කරුණු සැඟවීමෙන් බව සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා වෙනුවෙන් මෙන්ම සෙසු නිලධාරීන් හා සංගමය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා එම නියෝගය කළේය.
කීර්ති ගුණවර්ධන එකී සංගමයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමෙන් පසුව ඔහුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට සංගමය තීරණය කොට තිබිණි. වාර්ෂික මහා සභා රැස්වීමේ දී ඔහු සංගමයේ නීතිරීතිවලට පටහැනි ආකාරයෙන් නුසුදුසු ලෙස හැසිරීම ඇතුළු ඔහුට එරෙහිව ලැබී තිබූ පැමිණිලි විශාල ප්‍රමාණයක් සලකා බැලූ සංගම් නිලධාරීන් සංගමයේ නීතිරීතිවල දක්වා ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ඔහුගේ සාමාජිකත්වය අවසන් කිරීමට තීරණය කොට තිබිණි. විත්ති පාර්ශ්වය මෙන්ම පැමිණිල්ල ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය පැමිණිලිකරු සහනයක් පතා පැමිණි මුල් අවස්ථාවේ දීම ඉතා වැදගත් කරුණු යටපත් කර වැරදි ලෙස කරුණු නිරූපණය වන බව තම අධිකරණයට පෙනී යන බවත් සංගමය නීති පනත් අනුව කටයුතු කළ බව පැමිණිලිකරු විසින්ම පිළිගෙන ඇති බවත් නිගමනය කරමින් එකී නියෝගය කළේය.
ලංකා ඔටෝ මොබයිල් සංගමයේ සභාපති ධම්මික ආටිගල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා පෙනී සිටි අතර, සංගමය වෙනුවෙන් නීතිඥ සංජේ ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සමුදිත කුමාරසිංහ, සජනා ද සොයිසා මහත්මිය සමග ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා පෙනී සිටියේය. විධායක කමිටු සාමාජිකයන් වෙනුවෙන් නීතිඥ ඉමාස් ඉමිතියාස්, චරිත ජයවික්‍රම යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. ආබේනායක