ජනාධිපති අරමුදලින් 2004 සිට 2008 දක්වා කාලය තුළ රු. ලක්ෂ පහට වැඩියෙන් ලබාගත් දේශපාලනඥයන්ගේ හා පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ලබාදෙන ලෙස ඊයේ (16දා) තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත ගොස් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කළේය.
ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2008 සිට 2024 දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව බවත්, ඊට පෙර 2004 සිට 2008 දක්වා ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ වී කටයුතු කළ වසර 4 අතහැර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම කාලයේ ඔවුන්ද ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන තිබෙන බවත්, ඒවා ජනතාව දැනගත යුතු හෙයින් එම වසර හතරේ ජනාධිපති අරමුදලෙන් ලබාගත් නම් ලැයිස්තුව ඉතා ඉක්මනින් ලබාදෙන ලෙසත් දයාසිරි ජයසේකර මහතා තොරතුරු දැනගැනීමේ සභාවෙන් ඉල්ලා සිටියේය.
මේ වන විටත් එම කොමිෂන් සභාව සභාපතිවරයකු හෝ අධ්‍යක්ෂවරයකු නොමැතිව කටයුතු කරන බවත් එම කොමිෂන් සභාව අකර්මන්‍ය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අරුණ බෝගහවත්ත