ටිබෙට් බුද්ධාගමේ ආධ්‍යාත්මික නායකයා වන 14 වැනි දලයි ලාමා පසුගිය සතියේ පැවසුවේ දලයි ලාමාවරුන්ගේ අඛණ්ඩ පැවැත්ම යම් ආකාරයක රාමුවක් යටතේ සිදුවන බවයි. 2011 දී වර්තමාන දලයි ලාමා ප්‍රකාශ කළේ තමාට වයස අවුරුදු 90 ක් වූ විට මේ තනතුර දිගටම කරගෙන යා යුතුද යන්න නැවත ඇගයීම සඳහා ටිබෙට් උසස් ලාමාවරුන් සහ ටිබෙට් ජනතාවගෙන් උපදෙස් ලබා ගන්නා බවයි. ඔහුගේ 90 වන උපන්දිනය අදට (06) යෙදී තිබේ. ජූලි 2 සිට ජූලි 4 දක්වා ධර්මශාලාවේ මැක්ලියොඩ්ගන්ජ් හි බෞද්ධ ආගමික සමුළුවක් පැවැත්විණි. ශුද්ධ නායකයාගේ ඊළඟ පුනරුත්පත්තිය තෝරා ගැනීමේ ක්‍රියාවලිය සඳහන් කළ හැකි දලයි ලාමාගේ වීඩියෝ ප්‍රකාශයක් පිළිබඳව ද එහි බලාපොරොත්තුවක් තිබිණි. දලයි ලාමා අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේ සැලැස්මක් ගැන පැවසීම, ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ පෙර නොවූ විරූ පියවරකි. මෙම ගැටලුව ආධ්‍යාත්මික වැදගත්කම ඉක්මවා යයි; එය සංකීර්ණ භූ දේශපාලනික ගැටුමක් බවට පත්ව තිබේ. ඊළඟ දලයි ලාමා තෝරා ගැනීම ටිබෙට් බෞද්ධයින්ට පමණක් නොව චීනය, ඉන්දියාව සහ ඇමරිකාව සඳහා ද වැදගත් වේ. දලයි ලාමා 1959 දී ඔහුගේ අනුගාමිකයින් 80,000 ක් සමග ඉන්දියාවට පලා ගොස් පිටුවහල් රජයක් පිහිටුවා ගත්තේය. එතැන් සිට චීන රජය ඔහුව “භික්ෂුවකගේ ඇඳුම් ඇඳගත් වෘකයකු” ලෙස විස්තර කර තිබේ. වත්මන් දලයි ලාමා, ටෙන්සින් ග්යාට්සෝ, 1935 දී ඊසානදිග ටිබෙටයේ ඇම්ඩෝ හි ටක්ට්සර් හි කුඩා ගම්මානයක ගොවි පවුලක උපත ලැබීය. ඔහු වයස අවුරුදු දෙකේදී 13 වැනි දලයි ලාමාගේ පුනරුත්පත්තිය ලෙස පිළිගැනුණි. පළමු දලයි ලාමා (මාතෘකාවේ තේරුම “ප්‍රඥාවේ සාගරය”), ගෙඩුන් ඩ්‍රපා, 1391 දී මධ්‍යම ටිබෙටයේ ත්සාං ප්‍රදේශයේ උපත ලැබීය. දෙවන දලයි ලාමා, ගෙඩුන් ග්යාට්සෝ, 1475 දී උපත ලැබූ අතර, වයස අවුරුදු 11 දී පළමු දලයි ලාමාගේ පුනරුත්පත්තියක් ලෙස පිළිගැනුණි. 17 වැනි සියවස වන විට, එම තනතුරට දේශපාලන බලතල ද පිරිනමන ලදී.
14 වැනි දලයි ලාමා “ටිබෙටයේ ඉතිහාසය, සංස්කෘතිය සහ ආගමික සම්ප්‍රදායන්ට ගරු කරන” බව ප්‍රකාශ කළ නමුත්, එතුමා පුනරුත්පත්තිය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ටිබෙට් බුද්ධාගමේ සම්ප්‍රදාය විනාශ කළේය. ඇදහිලිවන්තයන්ගේ හැඟීම් රිදවා චීන නීති උල්ලංඝනය කළේය. ඔහුගේ පුනරුත්පත්තිය හැසිරවීම දේශපාලන විහිළුවක් මිස අන් කිසිවක් නොවේ, එය ටිබෙට් බෞද්ධ ප්‍රජාව සහ බහුතර ඇදහිලිවන්තයන් විසින් දැඩි ලෙස විරුද්ධ වන අතර ඉතිහාසය විසින් අනිවාර්යයෙන්ම අතහැර දමනු ලබන බව චීන රජයේ මතයයි. ඓතිහාසික වශයෙන්, දලයි ලාමා සහ පංචෙන් ලාමා ඇතුළු ටිබෙට් බුද්ධාගමේ වැදගත් බලපෑමක් ඇති ජීවමාන බුදුවරුන් සියල්ලෝම චීනයේ උපත ලැබූහ. මෙය ආගමික ප්‍රජාව සහ ඇදහිලිවන්තයන්ගෙන් බහුතරයක් විසින් සාමාන්‍යයෙන් පිළිගත් ඓතිහාසික චාරිත්‍රයකි.
ජීවමාන බුදුවරුන්ගේ පුනරුත්පත්ති ක්‍රමය වසර 700 කට වැඩි කාලයක් සංවර්ධනය හා පරිණාමයට භාජනය වී ඇති අතර, ක්‍රමයෙන් දැඩි හා දැඩි ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ ඓතිහාසික සිරිත් විරිත් මාලාවක් පිහිටුවා ඇත. බලගතු ජීවමාන බුදුවරුන්ගේ පුනරුත්පත්තිය සඳහා, ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ දේශීය සෙවීම, රන් බඳුන් ඇඳීම සහ අනුමැතිය සඳහා මධ්‍යම රජයට වාර්තා කිරීම වැනි ඓතිහාසික සිරිත් විරිත් ජීවමාන බුදුවරුන්ගේ පුනරුත්පත්තියේදී පිළිපැදිය යුතු වැදගත් මූලධර්ම බවට පත්ව ඇත. දලයි ලාමාගේ පුනරුත්පත්තිය චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, කිසිදු රටකට, කිසිදු බලවේගයකට හෝ කිසිදු පුද්ගලයකුට මැදිහත් වීමට අයිතියක් නැති බව චීන රජයේ මතයයි. ඇත්තෙන්ම දලයි ලාමාගේ පුනරුත්පත්තිය තීරණය කරනු ලබන්නේ දලයි ලාමා විසින්ම නොවේ.
යමෙකු මිය ගිය පසුව යළි උපදින බවට බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව ඔවුන් විසින් විශ්වාස කරන්නේ තම පෙර ජීවිතයේ කළ කී දෑ මත ඔවුන් උපදින්නේ කෙසේ ද යන්න රඳා පවතින බවයි. (මෙම සංකල්පය බුදු දහමේ, හින්දු ආගමේ සහ සික් ආගමේ වැදගත් සංකල්පයක් වන කම්ම හෝ කර්මය ලෙස හැඳින්වේ). එහෙත් දලයි ලාමා වැනි ඉහළම ආධ්‍යාත්මික තත්ත්වයට පත් වූ අයට තමන් කවදා කොතැනක නැවත ඉපදෙන්නේද යන්න තීරණය කළ හැකි බව ටිබෙට් ජාතිකයෝ විශ්වාස කරති.
ජීවමාන බුදුවරුන්ගේ පුනරුත්පත්ති ක්‍රමය මුලින් නිර්මාණය කරන ලද්දේ ටිබෙට් බෞද්ධ නිකායන්හි නායකයන්ගේ උරුමය සහ අනුප්‍රාප්තිය විසඳීම සඳහා වන අතර එය කග්යු නිකායේ කර්ම කග්යු නිකායෙන් ආරම්භ විය. 1252 දී, මොන්ගෝලියානු ඛාන් මෙන්ගේ, කර්ම කග්යු භික්ෂුව කර්මපා තම ස්වාමියා ලෙස සැලකූ අතර ඔහුට රන් දාරයක් සහිත කළු තොප්පියක් සහ රන් මුද්‍රාවක් ලබා දුන්නේය. ඒ කාලයේ දී, කර්ම කග්යු නිකායට ඉඩම්, පශු සම්පත්, තණබිම් සහ යටත්වැසියන් ඇතුළු විශාල ධනයක් සහ බලපෑම් ක්ෂේත්‍රයක් තිබුණි. නිකායේ ආර්ථික අවශ්‍යතා සහ දේශපාලන වරප්‍රසාද ලබා දීම සඳහා, බෞද්ධ විඥානයේ අමරණීයභාවය, පුනරුත්පත්තිය සහ ”ප්‍රාර්ථනාවක් සමග පැමිණීම, අවතාරය නැවත ඇතිවීම” මත පදනම් වූ කර්ම පක්ෂි, ඔහුගේ මරණයට පෙර තම අනුප්‍රාප්තිකයා ලෙස දරුවකු සොයා ගන්නා ලෙස තම ගෝලයන්ගෙන් ඉල්ලා සිටියේය, එමඟින් ජීවමාන බුදුවරුන්ගේ පුනරුත්පත්තිය සඳහා පූර්වාදර්ශයක් විවෘත විය.
වර්තමානයේ චීනය දලයි ලාමාව ප්‍රතික්ෂේප කරන්නේ ආගම මුවාවෙන් බෙදුම්වාදී චීන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදෙන දේශපාලන පිටුවහල්කරුවෙක් ලෙස ය. දලයි ලාමා විසින් තම අනුප්‍රාප්තිකයා චීනයට පිටතින් බිහි වනු ඇති බවට නිවේදනය කර තිබීම චීනය කිසිලෙසකින් සතුටු කිරීමක් නොවේ. පුනරුත්පත්තියක අරමුණ පුරෝගාමීයකුගේ කාර්යය දිගට ම කරගෙන යෑම වන නිසා, නව දලයි ලාමා නිදහස් ලෝකයක් තුළ උපත ලබනු ඇත,” යනුවෙන් දලයි ලාමා ඔහුගේ නවතම කෘතියේ සඳහන් කර තිබීම ආන්දෝලනාත්මකය. වර්තමාන දලයි ලාමා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා ඇති ලොව පුරා ඉතා ප්‍රසිද්ධ චරිතයකි. නමුත් එතුමා බෞද්ධයින් වෙනුවෙන් හඩ නගන්නේ ද යන්න ප්‍රශ්නයකි. ඔහු බටහිර රූකඩයක් ද යන්න බොහෝ දෙනා තුළ නැගෙන ප්‍රශ්නයකි. ථෙරවාදීන් තුළත් වර්තමාන ටිබෙට් ආධ්‍යාත්මික නායකයා පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.
චතුර පමුණුව