ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට ප්‍රහාරයන් එල්ල නොකළ යුතු බවත් එසේ ප්‍රහාර එල්ල කළහොත් එය දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ‘ට්රුත් සෝෂල්’ සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් ඊයේ (24) සවස ප්‍රකාශ කර තිබිණි. ‘ඊශ්‍රායලය ඔය බෝම්බ ප්‍රහාර දැන් එල්ල කරන්න එපා. ඔබලාගේ ගුවන් නියමුවන් දැන් වහාම සියරටට කැඳවාගන්න. ඊශ්‍රායලය ඉරානයට පහර නොදෙනු ඇත. ඉරානයට මිත්‍රශීලී ගුවන් යානා රැල්ලක් පෙන්වමින් සියලු ගුවන් යානා ආපසු හැරී සිය මවුරට බලා ගමන් කරනු ඇත. සටන් විරාමය ක්‍රියාත්මකව පවතින නිසා කිසිවකුටත් හානියක් සිදු නොවනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබලාගේ අවධානය යොමු කළාට ස්තුතියි’ යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් සටහනෙහි සඳහන් කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් නෙදර්ලන්තයේ පැවැත්වෙන නේටෝ සංවිධානයේ නායකයන්ගේ සමුළුවට යමින් සිටියදී අදාළ සටහන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ සවස සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට ඊශ්‍රායලයට මෙන්ම ඉරානයට ද චෝදනා කර තිබූ බවද වාර්තා වේ. මේ අතර ඉකුත් ජුනි 13 වැනිදා ඇරඹි ඊශ්‍රායල -ඉරාන යුද්ධයේදී එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඊයේ (24) වන විට ඉරාන වැසියන් 606 දෙනකු මියගොස් සිටි අතර 5000 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.
ඊයේ උදෑසනින් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන වැසියන් 107 දෙනකු මියගොස් ඇති අතර එය ඊශ්‍රායල -ඉරාන යුද්ධයේදී ඉරානයට එරෙහිව එල්ල වූ දරුණුම ප්‍රහාරය බව ඉරාන සෞඛ්‍ය ඇමැති මොහොමඩ් රේසා සෆර්ගානි පවසා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ