ලෝකය ගිනි තියන්න ඇවිළුණු රටවල් දෙකක්

816 Views

අළු යට සැඟවුණු ඉරාන . ඊශ්‍රායල් යුද්ධයේ ගිනි පුපුරු යළිත් දළු ලා ඇවිළිණි. මාස කිහිපයක නිහඬ කාල සීමාවකට පසුව පසුගිය සිකුරාදා අලුයම ඊශ්‍රායලය ඉරානයට එක්වරම ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළ සිය රටට තර්ජනයක් බවට චෝදනා නගමිනි. කලින් නොදන්වා හදිසියේ සිදු කළ එම ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ඉලක්ක කොට තිබුණේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් පිහිටි නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝව් යන ප්‍රදේශයන්ය. ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන වන නටාන්ස්, ටබ්රස් හා අරාක් යන නගරවල පිහිටුවා ඇති රසායනික මධ්‍යස්ථාන හා ඉරාන විප්ලවීය හමුදාවේ වැදගත් කඳවුරු කිහිපයකට ද ඊශ්‍රායල් ආරක්ෂක අංශ ගුවන් ප්‍රහාර තුන්සියකට අධික ප්‍රමාණයක් ද එල්ල කර තිබුණි. මෙම ප්‍රහාර හමුවේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ විය. එම ස්ථානයන්ට අමතරව ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ තෝරාගත් ස්ථාන කිහිපයකට ද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේය. මෙම ප්‍රහාර හමුවේ ඉරාන මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බකේරි, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ න්‍යෂ්ටික විද්‍යාඥ අහමඩ් රේසා සොල්ෆජාරි ඇතුළු තවත් න්‍යෂ්ටික විද්‍යාඥයින් හයදෙනකු සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් කිහිපදෙනකු මියගියහ. එයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඉරානය ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කළහ. ඉරානය එල්ල කළ එම ප්‍රහාරයෙන් ජෙරුසලම සහ ටෙල් අවිව් හරහා අහසේ පිපිරීම් ඇති වූ අතර ගොඩනැඟිලි ද විනාශ විය. අළු යට තිබූ ගිනි හදිසියේ එලෙස ඇවිළුණි. එතැන් පටන් මෙම ලිපිය ලියන මොහොත දක්වාම ලොවටම බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක ඉරාන . ඊශ්‍රායල් ගුවන් තල ඇත්තේ එකිනෙකාගේ අණසකට යටත්වය.

පෘථිවියේ විශාලතම ගෑස් නිධියට හානි වුවහොත් ගෝලීය ආර්ථිකය තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය කුමකින් කුමක් සිදුවේදැයි නිශ්චිත අදහසක් නොමැතිව ගත කරන්න සිදුව ඇති කාල සීමාවක පසුගිය ඉරිදා (15 වැනිදා) පෘථිවියේ විශාලතම ගෑස් නිධියට ද ඊශ්‍රායලය බෝම්බ හෙළීය. මැද පෙරදිග ජාතීන් අතර දශක ගණනාවක් පුරා පැවති එදිරිවාදිකම් මධ්‍යයේ වුවද, ගැටුමක් පුළුල් වීමේ සහ වෙළඳපොළට තර්ජනයක් වන කැලඹීමක් ඇතිවීමේ බියක් මතු කරමින් මෙවන් විශාල විනාශයක් මින් පෙර සිදු නොවුණි.

ගෑස් නිධිය මෙන්ම ප්‍රධාන ඉන්ධන ගබඩාවක් හා ටෙහෙරාන් අගනුවර තවත් තෙල් පිරිපහදුවක් ද ගිනිගෙන තිබුණි. පළමුවෙන්ම ප්‍රහාර එල්ල වූ ගෑස් නිධිය ලොව විශාලතම ගෑස් ක්ෂේත්‍රය වන අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව එහි ඝන අඩි ට්‍රිලියන 1,800 ක ඇස්තමේන්තුගත ස්වාභාවික වායු ප්‍රමාණයක් අඩංගුය. ඇමෙරිකාවට සහ රුසියාවට පසු ලොව තුන්වන විශාලතම ගෑස් නිෂ්පාදකයා වන්නේ ඉරානයයි. ඊශ්‍රායලය බෝම්බ හෙලූ මෙම ගෑස් නිධියේ වාර්ෂිකව ඝන මීටර් බිලියන 275 ක පමණ ගෑස් නිපදවන බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ගිනි නිවන භටයින් පැය ගණනාවක මෙහෙයුමකින් ගින්න නිවාදැමීමට සමත් විය.

ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරවලින් පසුව ලෝක තෙල් මිල 14% කින් ඉහළ ගිය අතර තෙල් බැරලයක මිල ඩොලර් 73 දක්වා ඉහළ ගියේය. පසුගිය සිකුරාදා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායල් ග්‍රෝසි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ප්‍රකාශ කර සිටියේ ඉරානය U-235 60% දක්වා පොහොසත් යුරේනියම් නිෂ්පාදනය කළ යුරේනියම් නිෂ්පාදන බලාගාරයේ කොටසක් ද විනාශ වී ඇති බවය. යුරේනියම් – 235 යනු න්‍යෂ්ටික බලාගාර සහ න්‍යෂ්ටික අවි සඳහා අත්‍යවශ්‍යම ද්‍රව්‍යයකි.

ඉරානයේ නායකයා වන අයතුල්ලා අලි කමේනි බොහෝ කලක සිට ඊශ්‍රායලය හඳුන්වනු ලැබුවේ ‘පිළිකා ගෙඩියක්’ ලෙසය. එය සැකයකින් තොරව මුලිනුපුටා දමා විනාශ කළ යුතු එකක් බව ඔවුන්ගේ මතයයි. දශක ගණනාවක සිට ඊශ්‍රායලය සහ ඉරානය ඡායාත්මක යුද්ධයක නිරතව වගකීම් භාර ගැනීමකින් තොරව එකිනෙකාගේ දේපළවලට පහර දෙමින් සිටිති. ඉරාන . ඊශ්‍රායල ප්‍රහාර සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලයට පලස්තීන හමාස් කණ්ඩායම විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව ආරම්භ වූ ගාසා තීරයේ ක්‍රියාත්මක වත්මන් යුද්ධය ද අතරතුරය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත් ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර 1,700ක පමණ දුරකිනි. භූ ගෝලීය පිහිටීම අතින් ඉරානය ඊශ්‍රායලයට වඩා දස ගුණයක් මෙන් විශාල වුවද එය කෙසේවත් විශාල හමුදා බලයක් බවට පරිවර්තනය නොවන්නේය. ඉරානය මිසයිල සහ ඩ්‍රෝන යානා සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර මේ වනවිට ඉරානයට අඩුපාඩුවකට පවතින්නේ නවීන ගුවන් ආරක්ෂක පද්ධති සහ ප්‍රහාරක ජෙට් යානාය. එලෙසම ලෝකයේ වඩාත්ම දියුණු ගුවන් හමුදාවක් ඊශ්‍රායලය සතුය. ඊශ්‍රායලය සතුව F-15, F-16 සහ නවීනතම F-35 ජෙට් යානා ඇතුළුව අවම වශයෙන් ජෙට් යානා බලඇණි 14ක් පවතී.

දෙවන ලෝක යුද්ධයට පසු විශාලතම අවි ආයුධ භාවිතය

දත්ත සහ සාධක, විශ්ලේෂකයන්ගේ මත විමසීමේදී පෙනී යන්නේ ඉරාන – ඊශ්‍රායල් යුද්ධය දෙවන ලෝක යුද්ධයෙන් පසුව විශාලතම අවි ආයුධ භාවිත කළ යුද්ධය බවය. පසුගිය 18 වැනිදා ඉරානය සිය පළමු හයිපර්සොනික් මිසයිලය වන Fattah -1 ඊශ්‍රායල් ගුවන දෙදරවමින් දියත් කළේ මුළු ලොවටම තමන් සතුව ඇති යුදමය ශක්තිය පිළිබඳ නවමු ඉඟියක් දෙමිනි. මෙම මිසයිල වර්ගය හඳුන්වනු ලබන්නේ ලොව කිසිදු ආරක්ෂක පද්ධතියකට නැවැත්විය නොහැකි මිසයිලයක් ලෙසය. පැයට කිලෝමීටර් 18,000 කට අධික වේගයෙන් (තත්පරයකට 5km ක්) පියාසර කරනා මෙම නවතම මිසයිලයට ඇසිපිය හෙළන වේගයෙන් වායුගෝලය තුළදී සිය ගමන් මග ක්ෂණිකව වෙනස් කර හතුරු පාර්ශ්වය නොමග යැවීමේ හැකියාවක් පවතී. ෆටා 1 අවිය සාමාන්‍ය මිසයිලයක් මෙන් රේඩාර් මඟින් හඳුනාගෙන, එහි ගමන් මග ගණනය කර විනාශ කර දැමිය නොහැකිය. එහි අධික වේගය සහ ක්ෂණිකව දිශාව වෙනස් කිරීමේ හැකියාව නිසාවෙන් ලොව දියුණුම ගුවන් ආරක්ෂක පද්ධතිවලට පවා මෙය නවතා දැමීම න්‍යායාත්මකව කළ නොහැක්කක් බව ආරක්ෂක විශේෂඥයෝ පවසති. මෙම මිසයිල වර්ගය කලාපයේ ලෝක බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරනා විදිහේ බරපතළ තර්ජනයක් විය හැකිය. ලිපිය ලියන මොහොත වනවිට ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන ප්‍රහාර 1000ක් සහ බැලස්ටික් මිසයිල 400ක් එල්ල කර ඇති අතර ඊශ්‍රායලය විසින් ඉරානය වෙත ඩ්‍රෝන් ප්‍රහාර 170, කෲස් මිසයිල 30ක් සහ බැලස්ටික් මිසයිල 120ක් එල්ල කර ඇත.

ඉරානය න්‍යෂ්ටික අවියක් නිර්මාණය කරනවා නම් එය නිර්මාණය කරනුයේ ෆාඩෝව් හි පිහිටි න්‍යෂ්ටික මර්මස්ථානයේය. එය එක් මුරපොළක් හරහා පමණක් ප්‍රවේශ විය හැකි අයුරින් ආරක්ෂිත වළල්ලකින් සුරක්ෂිත කර ඇත. මෙම මර්මස්ථානය පවතින්නේ පොළොවේ සිට අඩි 300ක් පමණ අභ්‍යන්තරයේය. එවැනි ගැඹුරකට හානි කළ හැක්කේ ‘බංකර් බස්ටර්’ නම් වූ බලගතු බෝම්බයකින් පමණි. ඊශ්‍රායලය සතුව එවැනි බෝම්බ වර්ගයක් තිබුණ ද ඉන් හානි කළ හැක්කේ අඩි 33ට අඩු ගැඹුරකට පමණි. නමුත් අඩි 300කට වුවත් දරුණු හානි පැමිණවිය හැකි බංකර් බස්ටර් බෝම්බයක් ඇමෙරිකාව සතුය. GBU -57A/B Massive Ordnace Penetrator වන මෙය රාත්තල් 30,000ක අති ප්‍රබල බෝම්බයකි. මෙම බෝම්බය ප්‍රවාහනය කළ හැක්කේද ඇමෙරිකාව සතු B-2 Spirit යානාවල පමණි. B-2 Spirit යානාව ලෝකයේ පවතින කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවී යෑමට හැකි, දරුණු න්‍යෂ්ටික ප්‍රහාරයක් වුවද එල්ල කිරීමට හැකියාව පවතින ප්‍රබල යානාවකි. යම් ලෙසකින් ඇමෙරිකාව මෙම යුද්ධයට අත ගැසුවහොත් එය මැදපෙරදිග සමග ඇමරිකාව යුද්ධයකට අත ගැසූ තුන්වෙනි රට බවට පත් වනු ඇත.

ඊශ්‍රායලයට උදව් කරන ලෝක බලවතුන්ටත් ප්‍රහාර

ඉරානය සහ ඊශ්‍රාලය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමේ උත්සාහය ද ව්‍යර්ථ වී ඇත. ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර එල්ල කරනා තුරු සටන්විරාම සාකච්ඡා සඳහා සහභාගී නොවීමට තරම් ඉරානය සෘජුව ඇත. සිය රාජ්‍යයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව ඊශ්‍රායලයට සහය පළ කළහොත් හෝ ඊශ්‍රායලයට ඉරානය එල්ල කරනා ප්‍රහාර වැළැක්වීමට ඇමෙරිකාව, එක්සත් රාජධානිය හෝ ප්‍රංශය උත්සාහ කළහොත් එම රටවල ඇති හමුදා කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඉරානය නොපසුබට වනු නොඅනුමානය. මේ අතර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවන්නේ යම් ආකාරයකින් අමෙරිකාවට පහර දීමක් සිදු වුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාවන් සතු ශක්තිය සහ බලය කොතෙක්දැයි දැකගැනීමට ඉරානයට හැකි වනු ඇති බවය. ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචනයන්ට සහ චෝදනාවලට මුහුණ දෙමින් ඔවුන් පැහැදිලිවම තවමත් සුදානමින් සිටින්නේ ගින්දර සමග සෙල්ලම් කිරීමටය.

ඊශ්‍රායලය ප්‍රහාර නවත්වනවා නම් ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නැවැත්වීමට සූදානම්ය. ඉරානය යුද්ධය නැවැත්වීමට කැමතිය. නමුත් යටත් වීමට අකැමැතිය. මේ අතර ඉදිරි දින කිහිපය තුළ ඇමෙරිකාව ද ඉරාන . ඊශ්‍රායල් යුද්ධයට මැදිහත් විය හැකි බව පුවත් විශ්ලේෂණයේදී හැඟී යන්නකි. කෙසේවෙතත් ඇමෙරිකාව වැඩි කැමත්තක් දක්වන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන්නටය. ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා 30ක් මේ වනවිට ස්පාඤ්ඤයේ, ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ පිහිටි ගුවන් හමුදා කඳවුරු තුළ තැන්පත් කර ඇත. ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාවේ මැදිහත්වීමක් සිදුවනු ඇති බවට සැකයක් පහළ වන්නේ එනිසාය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැඩි හානියක්

ඊශ්‍රායල් – ඉරාන යුද්ධය වර්ධනය වීමත් සමග මේ වනවිට ගෝලීය ආර්ථිකය, ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර්ජනයට ලක් වී ඇත. තවදුරටත් මෙම ගැටුම වර්ධනය වුවහොත් ලෝකය පුරා විවිධ ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල කිරීමට ඇති හැකියාව වැඩිය. තෙල් නිෂ්පාදනයේ මූලික ප්‍රදේශයක් වන්නේ මැද පෙරදිගයි. ඉරාන ඊශ්‍රායල යුද ගැටුමත් සමග බොරතෙල් මිල 7%කින් ඉහළ ගිය අතර ඒ සමගම ගෝලීය ඉන්ධන සැපයුමෙන් 1/5ක් ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සමීපයෙන් වසා දැමෙනු ඇති බවට ද කතාබහක් ඇති විය. හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිර කිරීම් සම්බන්ධ නරකම අවස්ථාවක තෙල් මිල බැරලයකට ඩොලර් 100 ට වඩා ඉහළ යා හැකිය.

ගෝලීය තෙල් සැපයුමෙන් 30% ක් පමණ සිදු වන්නේ ඉරානය හරහා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වන අතර එය වසා දැමුවහොත්, තෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ලෝකය විශාල බලශක්ති අර්බුදයක් කරා යෑමට ද ඉඩ ඇත. ලෝක බොරතෙල් වෙළෙඳාමෙන් 20.25% අතර ප්‍රමාණයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි. ඒ අතර ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් හා සවුදි අරාබිය වේ.

පසුගිය 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් පිහිටි ෆුජයිරා සහ මස්කට් නගරයන්ට ආසන්නයේ තෙල් නැව් තුනක් ගිනි ගත් අතර මෙම ප්‍රහාරය කවුරුන් විසින් සිදු කළාද, ගිනිගැනීමට හේතුව කුමක්ද යන්න තවමත් නිශ්චිත සඳහන් නොමැත. කෙසේ වෙතත්, 1980 සිට 1988 දක්වා ඉරාන.ඉරාක යුද්ධයේදී, රටවල් දෙකම ගල්ෆ් කලාපයේ වාණිජ යාත්‍රා ඉලක්ක කරගත් විට, හෝමූස් කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම වසා දැමුවේ නැත. එපමණක් නොව, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ගන්නා උත්සාහයන් ටෙහෙරානයේම අපනයන කඩාකප්පල් කිරීමට ඉඩ ඇති අතර, විශේෂයෙන් චීනයට කරන අපනයනවලට බාධා ඇති කර, වටිනා ආදායම් කපා හැරීමට ද ඉඩ ඇත. තෙල් මිල ඉහළ යන විට නිෂ්පාදන පිරිවැය ද ඉහළ යෑම සාමාන්‍ය දෙයකි. මෙය අවසානයේ පාරිභෝගිකයින්ට, විශේෂයෙන් ආහාර, ඇඳුම් පැළඳුම් සහ රසායනික ද්‍රව්‍ය වැනි දෑ සඳහා බලපාන්නේය. ගැටුම දිගටම පැවතුනහොත් ලොව පුරා තෙල් ආනයනය කරන රටවලට ඉහළ උද්ධමනයක් සහ මන්දගාමී ආර්ථික වර්ධනයක් අත්විඳිය හැකිය.

ආසියානු ආර්ථිකයත් බිමට

තෙල් මිල වැඩිවීමක් තුළ අප රටට අත්වන ආර්ථික ඉරණම පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නැත. ඉරානය මෙන්ම ඊශ්‍රායලය ද විදේශ විනිමය අතින් අපට වටිනා රටවල්ය. මෙරට තේ අපනයනයෙන් 40% ක් යන්නේ මැදපෙරදිගටය. අපගේ තේ මිළට ගන්නා රටවල් අතර හත්වැනි තැන හිමි වන්නේ ඉරානයටය. මෙම 40%න් 5%ක් හෝ අඩු වුවහොත් අපට සිදුවන පාඩුව අති විශාලය. වසර
ගණනාවක සිට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා බොහොමයක් අපට ලැබුණි. යුද්ධය දරුණු වී ගියහොත් මැද පෙරදිග සේවය කරනා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනකට රැකියා අහිමිව යා හැකිය. විදේශ ප්‍රේෂණ, සංචාරක ව්‍යාපාර, තේ, රබර් අපනයන, මූල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සියල්ල බද්ධ වී ඇත්තේ මැදපෙරදිග සමගය. යුද්ධය තවදුරටත් ඇදුනහොත් එය අපේ රටේ ද සංවර්ධන වේගයට මරු පහරක් වනවා නොඅනුමානය.

අයතුල්ලා අලි කමේනි ඉලක්කය පහසු නෑ

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟව සිටින ස්ථානය නිවැරදිවම දන්නා බවත් ඔහු ඝාතනය කිරීම ඉතා පහසු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. කෙසේවෙතත් අයතුල්ලා අලි කමේනි කියනා තරම් පහසු නොවන ඉලක්කයකි. මේ මොහොතේ කිසිසේත්ම ඔහු ඝාතනය කරන අදහසක් ද ඇමෙරිකානු ජනපතිට නැත. ඇමෙරිකානු හිටපු ජනපතිවරයෙකු වූ ජිමී කාටර්ගේ පාලන සමයේ ඉරානය ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් රැසක් සිය රට තුළ සිරකරගෙන සිටිය ද ඇමෙරිකාව ඔවුන් සමග සටනකට මුල පිරුවේ නැති බවද අප මතක් කරගත යුතුය. නමුත් මේ වනවිට තමන්ගේ ඉවසීමේ සීමාව අඩු වෙමින් පවතින බව හා ඔවුන්ට කොන්දේසි විරහිතව යටත් වීමට සති දෙකක කාලයක් ලබා දෙන බවද ට්‍රම්ප් වැඩිදුරටත් කියයි. ඊශ්‍රායලයට එරෙහිව තමන් දියත් කරනා ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදු කළහොත් එය ඔවුන්ට ද ආපසු හැරවිය නොහැකි හානියකට මුල් වනු ඇති බව අයතුල්ලා අලි කමේනිගේ දැඩි වග කියයි. මෙම බල සංග්‍රාමයේ ඊශ්‍රායලයට ඇති ලොකුම තුරුම්පුව ආසියාවය. ඇමෙරිකාවේ සහ යුරෝපා රටවල වැඩසටහන් සකස් කර ඇත්තේ ඊශ්‍රායලයේ පැවැත්ම මතය. මැදපෙරදිග ඇති තෙල් සහ අනෙකුත් සම්පත් ඇමෙරිකාවට, යුරෝපා රටවලට සහ අනෙක් ලෝක බලවතුන්ට නැතිව වැඩිකල් දුවන්නට බැරිය.

ලෙයට ලෙය ඉල්ලමින් සිදුවන මෙම මහා සංග්‍රාමය හේතුවෙන් සිකුරාදා සවස පුවත්පත මුද්‍රණයට යනවිට ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගොස් තවත් 1,329 දෙනෙකු තුවාල ලබා තිබුණු අතර ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 24ක් මියගොස් තිබුණි. තුවාල ලැබූ ගණන පිළිබඳ නිශචිත සඳහනක් නොමැත. ලොව නසන්නට ආයුධ තැනුව ද ලොව සනසන්නට කිසිදු රටක් ආයුධ තනා නොමැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. නමුත් සටන ගෙන යන ඔවුන් සමගම තවත් බොහෝ රටවලට ආයුධ නොමැතිව වුවත් නැසී යන්නට සිදුවනු ඇත. මෙම යුද්ධය කලාපයේ සෙසු රටවල්වලට ද හානිකර දේශපාලන පසුබිමක් ඇති කරවනවා නියතය. ඊශ්‍රායල බොහෝ සිවිල් වැසියන් වීදි බැස සිය රට යළිත් යුද්ධයක් ආරම්භ කිරීම පිළිබඳව ඉරානයෙන් සමාව අයැදමින් සිටිති. ‘ඉරානය අපට සමාවන්න. අපට අවශ්‍ය සාමයයි’ ඊශ්‍රායල ධජ දෑත් දරමින් ඔවුහු පවසති. නමුත් බොහෝ සිවිල් වැසියන්ට සාමය අවැසි වුවද ලෝකය තම යටතට ගන්නට උත්සාහ දරනා, ලෝකයේ පොලිස්කාරයා වෙන්නට තනනා කාටත් මේ මොහොතේ ‘සාමය’ යනු හුදෙක් වචනයක් පමණි. කලාපයේ සාමය ඇති කිරීමේ මුවාවෙන් ජාතිවාදය ආගම්වාදය වපුරවන්න යන කාටත් තවම සාමය අවශ්‍ය නැත.

එරංදි කෞශල්‍යා මද්දුම
[email protected]

- Advertisement -
Share This Article