ඉකුත් සතියේ මගීන් 241 දෙනකුට මරු කැඳවමින් කඩා වැටුණු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයට අයත් එන්ජින් දෙකෙන් එක් එන්ජිමක් අලුතින් සවි කර තිබූ අතර අනෙක් එන්ජිම අලුත්වැඩියා කිරීමට නියමිතව තිබුණේ මෙම වසරේ දෙසැම්බර් මාසයේ බව එයාර් ඉන්ඩියා සමාගමේ සභාපති එන්. චන්ද්‍රසේකරන් පවසා තිබේ. ඔහුට අනුව යානයට අලුත් එන්ජිම සවි කර ඇත්තේ මෙම වසරේ මාර්තු මාසයේදීය. ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා ඇති එයාර් ඉන්ඩියා සමාගමේ සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කර තිබේ. අදාළ ගුවන් යානා අනතුරෙන් පසු ඇතැමුන් එය යානයේ එන්ජින් යුගලයේ වරදක් හේතුවෙන් සිදු වන්නට ඇති බවට මත ඉදිරිපත් කර තිබිණි. මේ අතර අනතුරට පත් එයාර් ඉන්ඩියා යානය කඩා වැටීමට මුල් වූ හේතුව සොයා විදෙස් විශේෂඥයන්ගේද සහය ඇතිව ඉන්දීය බලධාරීන් විසින් විමර්ශනයක් දියත් කර තිබේ.
Reading: කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ එන්ජිමක් අලුත් බව හෙළි වෙයි